මංකි පොක්ස් වයිරසය හඳුන්වන්න අලුත් නමක්


‘මංකි පොක්ස්’ වයිරසය මින් ඉදිරියට ‘එම්-පොක්ස්’ යන නමින් පමණක් හැඳින්වීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.

‘මංකි පොක්ස්’ (වඳුරු උණ/වඳුරු පැපොල) වයිරසය මේ වනවිට ලොව රටවල් රැසකට ව්‍යාප්ත වී අවසන්ය. සමලිංගික පිරිමින් අතරේ වයිරසය බහුලව පැතිරෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

‘මංකි පොක්ස්’ යන නම සුදුසු නොවන බැවින්, වයිරසය වෙනස් නමකින් හැඳින්වීමට පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණේ වයිරස ව්‍යාප්තියේ ආරම්භයත් සමඟය.

‘මංකි පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි.

මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවීම ඉතා අඩු වුවත්, පසුගිය මාස කීපයේ එය අසාමාන්‍ය ලෙස ලොව පුරා ව්‍යාප්ත විය. මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ රෝගී අයකු සමීපව ඇසුරු කරද්දී යැයි ද වෛද්‍යවරු පැහැදිලි කරති.

‘වඳුරු උණ’ මාරක වයිරසයක් නොවන අතර, මරණ අනුපාතය ද ඉතා අඩුය. සිරුරේ ප්‍රතිශක්තිය හොඳින් ඇති නම්, වයිරසය පහසුවෙන් පරාජය කිරීමට හැකි බව පැවැසෙයි. ‘කොවිඞ් 19’ කොරෝනා වසංගතය හා සසදා බැලූවිට ‘වඳුරු උණ’ සාමාන්‍ය හෙම්බිරිස්සාවක් යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

කෙසේ නමුත් හෙම්බිරිස්සාවක් පවා මාරක විය හැකි බවත්, ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.

‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවෙනි. මෙය පැපොල (චිකන් පොක්ස්) සහ වසූරිය වයිරස අතරට වැටෙයි. ‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය.

‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රභේද දෙකකි. එයින් දරුණු ප්‍රභේදය ‘කොංගෝ’ ප්‍රභේදයයි. මෙය කොංගෝව ආශ්‍රිතව පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී තිබේ. අනෙක් ‘වඳුරු උණ’ ප්‍රභේදය වන්නේ ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ ප්‍රභේදයයි.

(රොයිටර්)