(දයාරත්න ඇඹෝගම)
විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වීමේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇතැයි එච් කලාපයේ ගොවිහු පවසති.
මහවැලි එච්. කලාපයේ එප්පාවල, කටියාව, මහඉලුප්පල්ලම ඇතුළු ප්‍රදේශ කිහිපයකම ගොවියන් පුද්ගලික සමාගමක් සමඟ සිදුකළ වෙළද ගිවිසුමක් අනුව අක්කර තුන්සීයකට ආසන්න භුමි භාගයක මඤ්ඤොක්කා පසුගිය මාස කන්නයේ වගාකොට තිබේ.
ගොවීන් පවසන්නේ තම වගාවන් වලට නියමිත කාලය ඉක්මවා මේ වනවිට මාස දහයක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් තම අස්වැන්න මිලදී ගැනීම සඳහා මහවැලි අධිකාරිය යටතේ හදුන්වාදුන් සමාගමේ කිසිවකු නොපැමිණි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු එප්පාවල කෙට්ඨාශයේ ඩී 01 ගොවි සංවිධානයේ සභාපති අතුල දිසානායක මහතා,
“පුද්ගලික සමාගමක් විසින් එච්.කලාපයේ ගොවින් සමග මඤ්ඤොක්කා වගා කරන්න ගිවිසුම් ගත වුණා. මඤ්ඤොක්කා කිලෝව රුපියල් අනුවකට මිලදී ගන්නා බවටත් එම සමාගම පොරොනදු වුණා. ඒක ගිවිසුමෙත් සඳහන්ව තිබෙනවා. එම ගිවිසුම අනුව ගොවියන් පසුගිය මාස්කන්නේ රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා මඤ්ඤොක්කා අක්කර තුන්සීයක විතර වගා කළා. නමුත් වගාවට නියමිත කාලයත් ඉක්මවා මාස දහයක පමණ කාලයක් වෙනවා. රුපියල් 90.00 ගානේ මඤ්ඤොක්කා කිලෝව මිලදී ගන්නවා කියලා පොරොනදු වුණාට තවමත් මේ සමාගම මඤ්ඤොක්කා අස්වැන්න මිලදී ගන්න ආවේ නැහැ”.
මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ තඹුත්තේගම නියෝජ්‍ය නේවාසික කළමනාකරු(කෘෂිකර්ම) ඒ.එම්.එස්.අබේරත්න මහතාගෙන් සිදුකළ විමසුමේදී ඒ මහතා කියා සිටියේ,
“මඤ්ඤොක්කා වගා කිරිම සදහා මෙම ගොවින් හා අදාළ පුද්ගලික සමාගමත් සමඟ ගවිසුමක් අත්සන් කළා. ඒ අවස්ථාවට අපිත් සම්බන්ධ වුණා. ඒ අනුව ගොවියන් මඤ්ඤොක්කා වගා කළා .බිම් සැකසීමේ ඉදන් අස්වනු නෙලන තෙක් එම කාර්ය ගොවියන් විසින් සිදුකළ යුත්තේ. ඒ සඳහා අවශ්‍ය කෘෂිකර්ම උපදෙස් හා ජලය ලබාදිම තමයි අපි කරන්නේ. අස්වනු නෙලන අවස්ථාවේදී අදාළ සමාගමෙන් මේ අස්වනු මිලදී ගන්නේ නැත්නම් ගොවියන්ගේ යුතුකම තමයි ලිඛිතව හෝ වාචිකව අපි දැනුවත් කිරීම. ගොවියෝ අපි දැනුවත් කළේ නැහැ. ගොවියන්ගේ අස්වනු මිලදී ගැනිමට තමන් අදාළ සමාගමට දැනුම් දී ඇති බවත් අබේරත්න මහතා මෙහිදී පැවසීය.