මට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමයි


(ඩයනා උදයංගනී)

"මිනිසුන් අවුස්සන දේශපාලනයට හසු නොවී අනාගත පරපුර වෙනුවෙන් පෙළගැහෙන්න” යැයි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැවසීය.

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් ඒ වෙනුවෙන් නොබියව තීරණ ගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට බිය නොවන බව කී ජනාධිපතිවරයා තමා ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට බවත්, තමා ඔවුන් තැබූ විශ්වාසය කඩ නොකරන නිසා ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගත යුතු බවත් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට 
අද (23) පෙරවරුවේ එක්වෙමිනි.

පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය.  

අනතුරුව වගාබිම් වෙත පැමිණි ජනාධිපතිවරයා එහි වගා කර තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් මෙන්ම කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද නිරීක්ෂණය කළේය. 

ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින්  මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කරන අතර අක්කර 13ක පමණ වූපොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු දගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදාගනිමින් සිදු කරයි. 

තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ගැනීමට සූදානම් බවද කීවේය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටියදීත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. 

ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇතිකසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය. 

මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, යූ.කේ. සුමිත්, සමන්ප්‍රිය හේරත්, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය  අතුල විජේසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.