මඩේ එරුන කෙනර වනජීවියෙන් බේරා ගනියි


(කුෂාන් ජයවර්ධන)

හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ මඩේ එරී සිටි කෙනරක නිරුපද්‍රිතව ගොඩ ගෙන යළි රක්ෂිතයට මුදා හැරීමේ මෙහෙයුමක් හොරොව්පොතාන වනජීවී නිලධාරීන් අද (03) ක්‍රියාත්මක කරනු ලැබිණ.

වනජීවී නිලධාරීන් මැදිහත්ව මෙලෙස මුදා ගනු ලැබූයේ වයස අවුරුදු 25ක් පමණ වන කෙනෙරකි.

හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායකට වාරි ජලය ගෙන යන අඩි පහක් පමණ ගැඹුරු අවාරි ඇලක මඩේ එරී සිටියදී එම කෙනෙර වනජීවී නිලධාරීන්ට හමුව තිබිණ.

ඒ අනුව වහා ක්‍රියාත්මකවූ හොරොව්පොතාන ජාතික උද්‍යානනයේ කටයුතු භාර වනජීවී නිලධාරීන්, ප්‍රදේශවාසීන් පිරිසකගේ ද සහය ඇතිව එම කෙනෙර මුදවා ගෙන රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කර තිබේ.

හොරොව්පොතාන ජාතික උද්‍යානයේ කටයුතු භාර කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර සමීර රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් හා ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේ වනසත්ව නියාමකවරුන් සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම සාර්ථකව සිදු කෙරිණ.