මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය යානය කිඹුලාපිටියට ගොඩ බස්වයි - වීඩියෝ


 

(නිමන්ති රණසිංහ,බිමල් ශ්‍යාමන්ඩබ්ලිව් කීර්ති, ටී. කේ.ජී. කපිල සහ  ටෝනි කරුණානායක)

ලෙබනන් ජාතික ධනවත් තරුණ යුවළක් මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ගුවනින් චාරිකාවේ යෙදී සිටි පෞද්ගලික සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානායක් අද (27) මීගමුව දාගොන්න, පත්තායම්වත්ත ප්‍රදේශයේ වෙල්යායකට ගොඩ බස්වා ඇත.

මෙම ගුවන් යානය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ධාවන පථයෙන් නික්මී කොග්ගල දක්වා ගමන් කරමින් සිටියදී මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙසේ ගොඩබා ඇත්තේ සකුරායි ඒවියේෂන් ගුවන් සමාගමට අයත් සෙස්නා 172 වර්ගයේ සැහැල්ලු ගුවන් යානායකි.

මෙම යානයේ සිව්දෙනකු ගමන් කර ඇති බවත් කොග්ගලට ගමන් කරන අතරතුර ඇතිවූ හදිසී තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්වීමට සුදානම් වුවත් කාලය මදිකම හේතුවෙන් එය කිඹුලාපිටිය වෙල්යායකට ගොඩ බස්වා ඇති බවත් වාර්තා වේ.

නියමුවරයකු සහ නියමුවරියක් විසින් මෙම පුද්ගලික ගුවන් යානය සංචාරක යුවළක් රැගෙන රත්මලානේ සිට සීගිරිය බලා ගොස් නැවත කොග්ගල ප්‍රදේශයට පියාසර කරමින් සිටියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසී ගොඩබෑමක් සිදුකර ඇතැයි පොලිස් මුලස්ථානය නිකුත් කළ එම නිවේදනයේ සදහන් වේ.

මෙම තරුණ යුවළ ඊයේ (27) උදෑසන රත්මලාන ගුවන් තොටුපලෙන් ගමන් ආරම්භ කර සීගිරිය නරඹා කොග්ගල බලා පියාසර කරමින් සිටියදී ඊයේ (27) දහවල් 2.00ට පමණ ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුකර තිබිණී.

එම ගොඩබෑමේදී ඇතිවූ කම්පනය සහ සු`ථ තුවාල හේතුවෙන් යානයේ සිටි සිදෙනාම මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මූලස්ථානය සදහස් කරයි.

සිද්ධිය වාර්තා වූ සැනින් කටුනායක ගවන් තොටුපලේ ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භට පිරිස් අදාළ ස්ථානයට යොමු කරවීමට ගුවන් හමුදාව කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

එම ගුවන් යානයේ අයිතිකාර සමාගමේ බලධාරීන් එම ස්ථානයට එනතුරු ගුවන් යානයේ කොටස් ආරක්ෂා කර දෙනු ලැබූ බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම පෞද්ගලික ගුවන් සමාගමට අයත් මෙවැනි ම ගුවන් යානායක් ඉකුත් 22 වැනිදා බේරුවල වෙරළ තීරයට හදීසියේ ගොඩබෑමක් කර තිබිණී.