මන්දකට හසුවී සිටියදි මුදාගත් කළු කොටියා මිය යයි


රංජිත් රාජපක්ෂ

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වී සිටියදී මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරීහු පවසති.

පසුගියදා එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වී සිටියේය.

උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන ලදී. එහි  ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදෑසන කොටියා මිය ගිය බව වනජීවි නිලධරයෝ පවසති.

ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හයදෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවත් ඔවුහු කියති.

මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේදි සිදු කිරීමට නියමිතය.