( රොමේෂ් මධුෂංක)
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
එම සිද්ධිය හේතුවෙන් රෝහල් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව මියගිය අයගේ ඥාතීන් දැඩි විරෝධතාවක් දැක්වූහ.
සිය කුලුදුල් දරුව ප්‍රසූත කිරිම සඳහා අදාල මව මන්නාරම් රෝහලේ ප්‍රසව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසුව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව ඇති බවට රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දී අදාල මව ප්‍රසූත කාමරයට රැගෙන ගොස් ඇත.
එහිදී දරුවා ප්‍රසූත කරවීමට ගත් උත්සහයකදී දරුවා සහ මව මිය ගොස් ඇති බවටත් රෝහල් බලධරීන්ගේ නොසැලකිල්ල මත මෙම මරණයන් සිදුව ඇතැයි පවසමින් ඥාතීන් විසින් රෝහල් බලධරින්ට එරෙහිව විරෝධතාව දැක්වූහ.
එහිදී ඥතීන් විසින් චෝදනා කොට ඇත්තේ මිය ගිය මවගේ සිරුර බැලීමට පවාද රෝහල් බලධරීන් විසින් අවස්ථාවක් ලබානොදුන් බවයි.