මරදමඩු මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන් වෙයි


 

(රොමේෂ් මධුෂංඛ)

           

ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මහා දිව්‍ය පූජා දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන්ට අනුකූලව පැවත්වූ බවට මඩු දේවස්ථානයේ පාලක පෙප්පි සුසෙයි පියතුමා පැවසීය.

අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය ඊයේ (15) උදෑසන 6.15 ට පැවති අතර එම දේව මෙහෙයන් වෙනුවෙන් මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු , ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ , මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නොර්බඩ් අන්රාඩි යන පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේව මෙහෙය අවසන් වීමෙන් පසුව මරදමඩු ජපමාල දේව මාතාවගේ පිළිරුව මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා වීදි සංචාරයක ද රැගෙන යාම සිදු කෙරිණි.

මන්නාරම් මරදමඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් දේව මෙහෙය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී අවසන් දේව මෙහෙය පැවත්වූ අවස්ථාවේ බැතිමතුන් ඇමතු මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණෝ මෙසේ පැවසූහ.

‘මඩු මාතාවන්ගේ පාමුලට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල වශයෙන් පැමිණ තිබෙනවා. ඒ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමි. ඒ වගේම කොරෝනා වයිරසය සැමටම තර්ජනයක් වී ඇති මේ මොහොතේ සෞඛ්‍ය නීති වලට අනුව ඔබ මෙහි පැමිණ ඇත. එවැනි අවස්ථාවක පැමිණ ඇති ඔබ සියලු දෙනා මඩු මාතාවන විසින් අත්නොහැර රැක බලාගනු ඇත. යනුවෙනි.

මඩු වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ හා මඩු පොලීසිය විසින් අවශ්‍ය පියවර ගනු ලැබීය.