මහ උස්වැව දරුවෝ ගස් යට අකුරු කරති


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වසර ගණනාවක සිට  ගොඩනැගිලි නොමැතිකමින් ගස් යට අකුරු කරන ආණමඩුව ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලයේ දරුවන් වෙත කිසිදු බලධාරියකුගේ අවධානය යොමු වී නැති බව දෙමව්පියෝ පවසති.

1980 දශකයේ ඉගිනිමිටිය ව්‍යාපාරය ආරම්භ කිරිමක් සමඟ ඇරඹී ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලය පළමු ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා පංති පැවති බවත් ප්‍රදේශයේ දිප්තිමත් පාසලක් වූ බවද කියයි.

කෙසේ නමුත් මේ වන විට කිසිඳු මුලික පහසුකමක් නොමැති මෙම දරුවන් වසර ගණනාවක සිට අන්ත අසරණ කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි බරපතල ගැටළු මතු කර තිබේ. ගරා වැටුණු ගොඩනැගිල්ල හා අබලන්  වැසිකිළි කැසිකිළි පද්ධතිය මේ දරුවන් තවත් අසරණ කර තිබේ. එසේම බීමට පිරිසිදු ජලය මේ භූමියේ  නොමැත.

වසර 30 කට පෙර පාසල ආරම්භ කිරිමත් සමඟ ඉදිකළ එකම ගොඩනැගිල්ල හැර කිසිඳු ගොඩනැගිල්ලක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ වන තුරු  ලබා දී නොමැති බව දෙමව්පියෝ පවසති.

එසේම වසර 30 කට පෙර ඇරඹී මෙම පාසලට හිමි වූ එකම ගොඩනැගිල්ල අද වනවිට  බරපතල ලෙස අබලන් වී තිබේ.

එහි බිත්ති පුපුරා තැනින් තැන ගිලා බැසීමකට පවා ලක්වී තිබේ.මෙම ගොඩනැගිල්ලේ වහලයේ පරාල වලට කෘමින් හානි කරමින් විශාල රංචු ලෙස රැදී සිටීමත්  සමඟ මේ වන විට වහලය කඩා වැටීමේ අවදානමකට ලක් වී තිබේ.

මේ නිසාම දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවන් අබලන් ගොඩනැගිල්ලේ අධ්‍යාපනය  හැදැරු දරුවන් එයින් ඉවත් කර ගැනීම සිදුකර ඇත්තේ බළධාරින්ට දිගින් දිගටම කළ ඉල්ලීම් පසෙක දැමීමේ තත්වය හමුවේ බව කියයි.

උගතුන් රැසකට මුලාරම්භය වු ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලය අද වන විට පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිමා වී තිබේ.

මේ වන විට  මුළු පාසලේ දරුවන් පිරිස ද 112 කට අඩුවී ඇත්තේ පාසල තුළ පවතින අඩුපාඩු හේතුවෙන් දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනත් පාසල් වෙත රැගෙන යාමේ හේතු මත කියයි.

කෙසේ නමුත් දෙමාපියන් පවසන්නේ වසර වසර 30 කින් කිසිදු බලධාරියකු මෙම පාසල තුළ පවතින අඩුපාඩු සොයා නොබැලිම බරපතල ගැටළුවක් වී ඇත.

ඩිජීටල් තාක්ෂණය හරහා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට සුදානම් වන වගකිව යුත්තන්ට ඉහළ උස්වැව දරුවන්ගේ දෑස පාදන්නට පාසල තුළ පවතින සමස්ත අඩුපාඩු සකසා දෙන්නේ කවදා දැයි මේ දරුවන් බලා සිටිති .

මේ පිළිබදව කළ විමසිමේ දී පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු.පී.එස්.කේ. විජේසිංහ මහතා මෙසේ පැවසීය.

“ පාසලේ පවතින තත්වය අනුව අපි කඩිනමින් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන්න කටයුතු කරනවා. ඉතිරි ගැටලුත් අපි ඉක්මණින් විසඳන්න කටයුතු කරමින් සිටිනවා.මෙම පාසලට අකුරු කරන්නට පැමිණෙන දරුවන් අතරින් බහුතරයක දරුවන්ගේ මව්පියන්ගේ රැකියාව දෛනික කුලී වැඩ කිරිමයි. එවන් වටපිටාවක තම දරුවන්ගේ අනාගතය ජය ගැනීමට මේ මව් පියන්ට සිහිනයක් වී තිබෙනවා.’’