මහනුවර ඇසළ පෙරහර අවසන් කළ බවට පෙරහර සංදේශය අද ජනපතිට


(චමිල් රුපසිංහ)

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාල නියෝජනය කරමින් සහභාගි වී දක්ෂතා දැක්වූ කලාකරුවන් 162 කට සහතික හා මුදල් පරිත්‍යාග පිරි නැමීම ජනපති අතින් අද (15) මහනුවර ජනපති මන්දිරයේදී  සිදු කෙරිණි.

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

දවල් පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන නිළමේවරයා ඇතුළු සතර මහ දේවාල හා පිටිසර දේවාල බස්නායක නිළමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගිය අතර පෙරහර සංදේශය සභාව වෙත ඉදිරිපත් කිරීම දියවඩන නිළමේතුවන් විසින් පසුව සිදු කරනු ලැබීය.   

සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් පසුගිය 02 දින මහනුවර ඇසළ පෙරහර ආරම්භ විය.කුඹල් හා රන්දෝලි පෙරහර දින 10 ක් පුරා සංචාරය කළ අතර දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරහර නැරඹීමට මහනුවරට පැමිණ සිටියහ.

උඩරට පාරම්පරික කලා කරුවන් 1500 ක පමණ පිරිසක් සමඟ අලි ඇතුන් 70 ක් පමණද සහභාගිවූ මහනුවර ඇසළ මංගල්‍යය ලොව විචිත්‍රවත්ව උස්සව පහ අතරින් එකක් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.

රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්,උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකානයක,මහනුවර පුරපති කේසර සේනානායක යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්ද රාජ්‍යය නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.