මහින්ද විද්‍යාලයේ සිසුහු 42 ක් වෙස් පළඳිති


(සිරංගිකා ලොකුකරවිට)

සිසුන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ වෙස් තැබීමේ මංගල්‍යයක් ගාල්ල මහින්ද විද්‍යාලයේ දී අද (11) පැවැත්විණි.  

අට වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා වසරවල දරුවන් මේ සඳහා සහභාගී වූ බව විදුහල්පති ගාමිණි ජයසුන්දර මහතා පැවසීය.

පාසලේ නර්තන විෂය භාර ආචාරිණී දමයන්ති කරුණාරත්න මහත්මිය දරුවන් පුහුණු කළ අතර විදුහලේ නර්තන අචාර්යවරුන් වන සමන් පලිහක්කාර මහතා සහ නිල්මිණි වේවැල්වල මහත්මියගේ ද පූර්ණ දායකත්වය ඒ සඳහා ලැබී ඇත.

දරුවන් මේ සඳහා වසරක පමණ කාලයක සිට පුහුණු වීම් සිදුකළ බව දමයන්ති කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මහීපාල උක්වත්ත මහතා සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නාලක සංජීව මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් යටතේ මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.

උඩරට කීර්තිමත් කලාකරුවකු වන තිත්ත පජ්ජල සුමනවීර ශිල්පියා ඇතුළු කණ්ඩායම හිසවෙස් තැබීමේ උත්සවය සඳහා සම්පත් දායකතත්වය ලබාදුන්හ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ටී.චන්ද්‍රාවතී මහත්මිය ද විශේෂ ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් සෞන්දර්ය අධ්‍යක්ෂිකා භාග්‍යා මලල්ගොඩ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.