මා හපා කන්නේ නෑ: කතාබහ කරමු


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා, අර්බුදය විසඳා ගැනීමට තමන් සූදානම් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

සතියකට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට හැකිවනු ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යැයි ද ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.

ජනාධිපති සෙලෙන්ස්කී කළ යෝජනාවට තවමත් රුසියන් ජනාධිපති පුටින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. පුටින් පවසා ඇත්තේ තමන් සැලැසුම් කළ ආකාරයට යුද්ධය සිදුවෙමින් පවතින බවය.

‘රුසියන් ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලීමක් කරනවා. අප මුහුණට මුහුණ හමුවී අර්බුදය විසඳා ගන්න කතා කරමු. මා පුටින්ගෙන් මීට පෙර අවස්ථා ගණනාවකදීත් හමුවී සාකච්ඡා කරන්න ඇරැයුම් කළා ඒත් ඔහු කැමැති වුණේ නැහැ. පුටින්ට මා කියන්න කැමැතියි, මා හමුවෙන්න බය වෙන්න එපා. මා හපා කන්නේ නැහැ.’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

යුක්රේන හමුදාව, යුක්රේන සිවිල් වැසියන් ‘මිනිස් පළිහක්’ ලෙස යොදා ගන්නවා යැයි රුසියන් ජනාධිපති පුටින් යුක්රේන ජනාධිපතිට චෝදනා නගා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න