මාතෘ මරණ අනුපාතය ලක්ෂයට විසිපහක් ලෙස අඩුවෙයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට  විසිපහක් ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගෙන ඇති ජයග්‍රහණයක් යැයි ද  එම අගය තවදුරටත් අවම කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ වැඩබලන ආයතන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරනු ලැබූ තෙදින මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් සකස් කරන ලද විශේෂ විද්වත් වාර්තාව අමාත්‍යවරයාට බාර දීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම අප්‍රේල්  මස 7 වන දිනට යෙදී ඇති අතර මෙවර එම දිනයේ තේමාව සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් - බලාපොරොත්තු සහගත අනාගතයක් ලෙස යොදා ගෙන ඇත.