මාර්ග ආරක්ෂාව - රියදුරු පුහුණු කුසලතා වර්ධනයට ජාතික වැඩසටහනක්


(යොහාන් භාසුර)

දිවයිනේ අධිවේගී මාර්ග සහ මහාමාර්ග පද්ධතිය තුළ වන රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් ජනතාව සහ රියදුරන් දැනුම්වත් කිරීමේ ‘මාර්ග ආරක්ෂාව සහ රියදුරු පුහුණු කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩසටහන’ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) නිල වශයෙන් ආරම්භ විය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භය මහාමාර්ග අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණ.

ප්‍රධාන පුහුණු වැඩසටහනට අමතරව කැළණිය, බොරැල්ල සහ ජා-ඇල යන ප්‍රදේශවලදී ද මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

එම අවස්ථාවට පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ රියදුරෝ ද එක්ව සිටියහ.

වසරකට සිදුවන 2,000 කට අධික රිය අනතුරු අවම කරමින්, රටට අහිමිවන 2,500 කට ආසන්න වටිනා ජීවිත ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. නීති පැනවීම හා දඩ මුදල් අයකිරීමට අමතරව ජනතාව සහ රියදුරන් ආකල්පමය වශයෙන් පරිවර්තනයට ලක්කිරීම මෙමගින් අපේක්ෂා කරයි.