(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම කඳවුරුවලට අලුතින් එක්වී ඇති ශ්‍රී ලාංකකියන් සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය පවසයි.
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීමේ වැඩිවීමක් ඇති වී තිබෙන බව පෙර අවස්ථා කිහිපයකදී මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා දෙන බව පවසා තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මිනිස් වෙළෙදාම කරන පුද්ගලයන් මෙය කරන බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම බලකාය සඳහන් කරයි.
රැකියා සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ කරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කර ඇති බව කී ජාතික කාර්ය සාධක බළකාය මෙම සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ට මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශනවලින් අනාවරණය වූ බව ද එම පාලකාය සඳහන් කරයි.
එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව 011-2102570 හෝ 076-8447700 යන දුරකථන අංකවලට හෝ [email protected] ඊමේල් ලිපිනයනට හෝ දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම බලකාය කීය.