මුදලිගේ මුදාහරියි


විමුක්ති එස්. රුද්‍රිගු

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ වසන්ත මුදලිගේ රැඳවුම් භාරයෙන් නිදහස් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශ ඔහු රඳවා තබා ගැනීම සඳහා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ලබා දී ඇති ප්‍රකාශ බවත්, එම ප්‍රකාශ කිසිදු සාක්ෂියකින් තහවුරු නොවන බවත් තීන්දුවේ සඳහන් වේ.

සාක්ෂිකරුවන් 42 දෙනකුගේ ප්‍රකාශ සහිත සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවේ, වසන්ත මුදලිගේ සිදුකළා යැයි පවසමින් ලබා දී ඇති ප්‍රකාශ වෙනත් කිසිදු සාක්ෂියකින් තහවුරු නොවන බවත්, ඇතැම් ප්‍රකාශ මාස ගණනක් පසු වී සම්පිණ්ඩන වාර්තාව සඳහා ලබා දී ඇති බවත් තීන්දුවේ දැක්වේ.

වසන්ත මුදලිගේට කිසිදු ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලැබුණු බවට සාක්ෂිවලින් අනාවරණය වී නොමැති බවත්, අරගලයට පුද්ගලයන් ගෙන ඒම සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා දීමට වසන්ත මුදලිගේ සූදානම් යැයි තමාට පැවසූ බවට ගැමුණු විජේරත්න නම් පුද්ගලයා කළ ප්‍රකාශයද සාක්ෂිවලින් තහවුරු වී නොමැති බවත් තීන්දුවේ සඳහන් කර ඇත.

අරගලයට පසු කලෙක මෝටිවේෂන් අප්පච්චි නම් පුද්ගලයා ප්‍රචණ්ඩ වූ බවට ප්‍රකාශ කළද වසන්ත මුදලිගේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට ප්‍රකාශ කර නොමැති බව ද තීන්දුවේ සඳහන් වේ.

වසන්ත මුදලිගේ, පොලිස් නිලධාරියකු ඇදගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රකාශය සාක්ෂි මගින් අනාවරණය වී නොමැති බවත්, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටි තැනක එම නිලධාරියාගේ ප්‍රකාශය හැර වෙනත් කිසිදු පොලිස් නිලධාරියකුගේ සාක්කියක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී නොමැති බවත් තීන්දුවේ දැක්වේ.

පොලිස් නිලධාරීන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එකිනෙකට වෙනස් ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිස් නිලධාරීන් එලෙස ප්‍රකාශ ලබා දී ඇත්තේ වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා තබා ගැනීමට බව නිරීක්ෂණය වන බවත් මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුවේ සඳහන් වේ.

පොලිස් නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බව පෙනෙන්නට ඇතැයි ද තීන්දුවේ සඳහන් කර ඇත.

වසන්ත මුදලිගේ තර්ජනය කළා යැයි පවසමින් සහකාර පොලිස් අධිකාරි රුද්‍රිගූ මහතා කර ඇති ප්‍රකාශය විශ්වසනීයත්වයෙන් තොර, පසුව නිර්මාණය කරන ලද ප්‍රකාශයක් බවත්, ඔහු වසන්ත මුදලිගේ රඳවා තබා ගැනීම සඳහා එම ප්‍රකාශය කර ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.

ඔහු ඉන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇතැයි ද තීන්දුවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පළමු කොටසේ වැරැදි සාමාන්‍ය නීතිය යටතේ වැරැදි වන බවත්, එම වැරැදි සඳහා විශේෂ නීතියක් පනවා ඇත්තේ එම වැරැදි ත්‍රස්තවාදීන් විසින් කරන ලද විට දැඩි දඬුවම් පැනවීමට බවත් තීන්දුවේ සඳහන් වේ.

නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදියා පිළිබඳ අර්ථ නිරූපණයක් සඳහන් නොවන බවත් ඒ පිළිබඳ නඩු තීන්දුවක් නොමැති බවත් එහි දැක්වේ.

එවැනි අවස්ථාවක පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතිකව යොදා ගන්නා බවත්, විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇප ලබා දීම වළක්වාලමින් රැඳවුම් භාරයේ තබා ගැනීමට ඇතැම් විමර්ශකයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා බව නිරීක්ෂණය වී ඇති බවත් මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවේ සඳහන් වේ.

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වැරැදි කළ බවට සාක්ෂි මගින් අනාවරණය නොවන බව තීන්දු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ අනුව වසන්ත මුදලිගේ නිදහස් කිරීමට නියෝග කළේය.

 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)