මුන්දලම තොඩුවාව කඩොලාන පරිසරය පිරිසිදු කිරීම අරඹයි




(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම තොඩුවාව මාර්ගයට නිවෙස් වලින් බැහැර කරන සියලුම අපද්‍රව්‍ය දැමීමෙන් එහි කඩොලාන පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් තිබීම පිළිබදව මාධ්‍ය පළ කළ තොරතුරු වලින් පසුව පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභාව එම කැලි කසල හා අනිකුත් දෑ ඉවත් කර විනාශ කිරිමට අද (25)  සිට කටයුතු ආරම්භ කර තිබේ.

මුන්දලම මදුරන්කුලිය තොඩුවාව ප්‍රධාන මාර්ගයේ සුවිශේෂ කඩොලාන පරිසරයට ජනතාව කසල බැහැර කිරිම පිළිබඳව ලංකාදීප ‘සේයා රූ වැට‘ පසුගිය  23 දින වාර්තා කිරිමත් සමඟ  අද(25) නිසි බළධාරින්ගේ අවධානයට එය ලක් විණි.

මේ  පිළිබදව සොයා බලා ගත යුතු ක්‍රියා මාර්ග ගැන සොයා බැලිමට එම ස්ථානයට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා සමඟ  කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක  හා පුත්තලම ප්‍රාදේශීය සභාවේ ලේකම් ශමිලා සුරංගී මාරසිංහ යන මහත්ම මහත්මින් මාධ්‍යට පවසා සිටියේ ජනතාවගේ නොහික්මුණු ආකල්ප තමන්ට වෙනස් කිරිමට නොහැකි වුවත් තම ආයතන වලින් සිදුවු අඩුපාඩුව සකසා මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවයි.

තොඩුවාව කඩොලාන පරිසරය පැරණි හැමිල්ටන් ඇළ පුත්තලම දිවෙන මාර්ගය දෙපස පිහිටා ඇති අතර මෙම පරිසර පද්ධතිය ජෛව විවිධත්වයෙන් පිරි සුන්දර පරිසර රටාවක් ද වෙයි. මෙම කැලි කසල ඇතුළු නොදිරන දෑ හා අනිකුත් විනාශකාරි අපද්‍රව්‍ය ජනතාව බැහැර කිරිමත් සමඟ මේ පරිසර පද්ධතියෙන් ජීවිකාව සකසා ගන්නා ධීවරයින්ද ගැටලු රැසකට මුහුණ දි තිබේ .

කෙසේ වෙතත් පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභා එකතුවෙන් දිගින් දිගටම මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමට අදාල බළධාරින් කඩිනම් අවධානය යොමු විම ඉතා වැදගත්ය .