මෙරට සුන්දරත්වය විඳින්න දින හයට තිස්අට දහසක් ඇවිත්


(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ සංචාරකයන් 760.891 ක් මෙරටට පැමිණ තිබේ. 

මෙම මස ගෙවුණු දින 6 තුළ මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියවෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17 කි. මෙම මස පළමු දින 6 තුළ ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 6,548 පැමිණ ඇත. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් එක්සත් රාජධානියට සහ රුසියාවට හිමිව ඇති අතර එම රටවලින් පිළිවෙළින් සංචාරකයන් 5,438 ක් සහ 4,185 ක් මෙරටට පැමිණ තිබේ.

මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළද මෙරටට වැඩියෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර සංචාරකයන් 124,863 ක් එම කාලය තුළදී ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇත.

එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් රුසියාවට සහ එක්සත් රාජධානියට හිමිව තිබිණ. එම කාලය තුළදී රුසියාවෙන් සංචාරකයන් 97,753 ක් මෙරටට පැමිණ තිබූ අතර එක්සත් රාජධානියෙන් මෙරටට සංචාරකයන් 75,143 ක් මෙරටට පැමිණ තිබුණේය.