මෝදි මේ තැනට ආවේ ශ්‍රී ලංකාවේ වරදින් නොවේද?


ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාවට තිබෙන කැක්කුමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ අයිතිවාසිකම් සහ කැක්කුම දෙරටේම ජාතික දේශපාලනය තුළ සුප්‍රකට, එසේම ඉහළ ඉල්ලු‍මක් ඇති රසවත් කටගැස්මකි. ලංකාවේ නම් ජාතික මැතිවරණ තුළද ඉන්දියාවේ නම් ප්‍රාන්ත මැතිවරණවලද අතදිග හැර මාකට් කළ හැකි මාතෘකාවකි. ඒ අනුව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය ‘වැලන්ටයින්’ දවසේ චෙන්නායි හිදී කළ ප්‍රකාශය දෙරටේම ජාතික සහ ප්‍රාන්ත දේශපාලනයට මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලටද අදාළ විය හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වීම වැදගත්ය.

මෙරට දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්න පිළිබඳව ඉන්දීය නායකයකු විසින් ප්‍රකාශයක් කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. යුද්ධය පැවැති කාලය තුළ මෙවැනි ප්‍රකාශ ලවක් දෙවක් නැතිව නිකුත් කෙරුණු බව අපට මතකය. එහෙත් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොටින් විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව එවැනි ප්‍රකාශ නිකුත්වීම අඩු විය. ඒවායේ සැර බාල විය. එතෙක් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය පිළිබඳව සතුරු ආකල්පයකින් සහ මෙරට රජයේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය වන අන්දමින් නිකුත් කෙරුණු ප්‍රකාශ, රටේ යුද්ධය ඉක්මනින් අවසන් වී සිංහල-දෙමළ සියලු‍ ජනතාවට සාමකාමීව සහජීවනයකින් යුතුව ජීවත්විය හැකි විසඳුමක් අවශ්‍ය බවට පළකෙරෙන දියාරු ප්‍රකාශ බවට පත්විය. යුද්ධය අවසන් වීමෙන් පසුව ඉන්දියාව දැරූ ස්ථාවරය වූයේ උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන නිදහස සහ ඔවුන්ගේ අභිලාෂ ඉටුකරගත හැකි විසඳුමකි. එසේම මෝදිගේ රජය බලයට පත්වීමෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කලින් තිබුණාට වඩා සමීප සහ මිත්‍රශීලී බවක් ගොඩනැගුණු බව කැපී පෙනෙයි. මෝදි යුද්ධයට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට පත්වූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එසේ ශ්‍රී ලංකාව සමග යහපත් සහ මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනංවාගෙන තිබූ මෝදි හදිසියේම ශ්‍රී ලංකාවේ ‘දෙමළ සහෝදර සහෝදරියන්ගේ’ සුබසාධනය සහ අභිලාෂයන් ඉටුකර ගැනීම ගැන කතාකර තිබේ. සිය ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවගේ යහපතට සැමවිටම පියවර ගෙන ඇති බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් කියමින් සිදුකළ මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ රජයේ දැඩි අවධානයට ලක්වූ බවට සැකයක් නැත. දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කරදීමට ක්‍රියාකරන බවටද මෝදි සිය ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවට මතක් කර දීමක් කර තිබේ.

ඒ සමගම ඉන්දීය අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ කාර්යාල ශ්‍රී ලංකාවේත් නේපාලයේත් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයිද සඳහන් වෙයි. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා මේ බව ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබිණි. සමහරවිට තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ආසන්නව තිබෙන හෙයින් මෝදිගේ මේ කතා දේශපාලන වාසි ලබාගැනීමට කරන කතා වශයෙන්ද අර්ථ නිරූපණය කළ හැකිය.

මේ ප්‍රකාශ දෙකම ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සිදුකෙරුණු රාජ්‍යතාන්ත්‍රික තරවටුවක්දැයි අවබෝධ කර ගැනීම ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රථම කාර්යය බව අපි සිතමු. ජිනීවා මානව හිමිකම් සැසියේ රතු එළි දැල්වෙමින් තිබියදී කලාපීය රාජ්‍ය නායකයන්ගේ සහයෝගය ලබාගැනීම ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වන අවස්ථාවක එම නායකයන් සමග අමනාප නොවී සහයෝගයෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙයි. එහෙත් පසුගිය කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කළ ආකාරය එම කොන්දේසිය ඉටු කිරීමට වඩා එය කඩකිරීමට හේතු වූවාදැයි යන සැකය අප තුළ වෙයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ අර්බුදය එහි ආසන්නම අවස්ථාවය.

ජිනීවා මානව හිමිකම් කොමිසම මෙවර ශ්‍රී ලංකාව දැඩි ග්‍රහණයකට හසුකර ගැනීමට පිඹුරුපත් සකසන බවට හැම අතින්ම ලකුණු පහළ වෙමින් තිබියදී මෙවැනි ප්‍රකාශ රටට අවාසියකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව තුළ මානව හිමිකම් කඩකළ බවට බරපතළ චෝදනා ඇතුළත්ව තිබෙන බවද උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු‍ ඒ අතරේ තිබෙන බවද සඳහන් වෙයි.
මේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබුණත් මානව හිමිකම් සැසිවාරය තුළදී එම වාර්තාව ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට එය බාධාවක් නොවේ. මෙහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරය තුළ තමන්ට හිතවත් රාජ්‍ය නායකයන් පිරිසකගේ සහයෝගය ලබාගනිමින් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික පවුරක් ගොඩනංවා ගැනීමය. එවැනි වැඩපිළිවෙළකට ඉන්දියාවේ සහයෝගය ලැබිය යුතුමය. එහෙත් මෝදිගේ කතාවෙන් පැහැදිලි වන්නේ ඉන්දියාව උතුරේ ජනතාවගේ ගැටලු‍ සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ ජිනීවා කොමිෂන් සභාවේ වාර්තාව අතර වැඩි වෙනසක් නැති බවය. මේ තත්ත්වයට හේතු වූයේ කුමක්දැයි තේරුම් ගැනීම රජයේ වගකීමය.

ඉන්දීය අගමැතිවරයා ඉහත සඳහන් මතභේදකාරී ප්‍රකාශය සිදුකර තිබුණේ චෙන්නායි හිදී ය. ලබන අප්‍රේල් මාසයේ තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන අතර චෙන්නායි එහි දේශපාලන වශයෙන් ඉතාම වැදගත් නගරයයි. තමිල්නාඩුවේ ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 62.6ක් වන අතර එහි අති බහුතරය දෙමළ ජාතිකයෝ වෙති. මේ නිසා මෝදි ලංකාවේ උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සානුකම්පිතව කතා කිරීම තමිල්නාඩුව තුළ තමන් සහාය දක්වන පාර්ශ්වයට ඡන්දය ලබාගැනීමේ කදිම තුරුම්පුවක්ද විය හැකිය. එය එසේමදැයි හරියටම කිව නොහැකි වුවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් තීන්දු ගැනීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම පෙන්නුම් කරන අවිනිශ්චිතභාවය සහ ප්‍රතිපත්තිමය ගැටුම් මේ ආකාරයෙන් අනවශ්‍ය විදෙස් අතපෙවීම්වලට දොර හැරදෙන බවද පෙන්වා දිය යුතුය.

(***)