යුක්රේන ජනපති යුරෝපා සංගමය හඬවයි


රුසියන් ප්‍රහාර දිගින් දිගටම එල්ල වෙද්දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, කියෙව් අගනුවර සිට සජීවීව, යුරෝපා සංගමය ඇමැතුවේය. ඒ, වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වෙමිනි.

‘මා දන්නවා රුසියාව අපට පහර දෙද්දී, ඔබ සැම (යුරෝපා රටවල්) සිටින්නේ යුක්රේනය පැත්තේ. යුක්රේන වැසියන්ගේ පැත්තේ. ඒත් ඔබ ඒක ඔප්පු කළ යුතුයි. ඔබ යුක්රේනය පැත්තේ බව අපට ඔප්පු කරන්න. යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කරගන්න. අප සටන් කරන්නේ අපේ ජීවත් වීමට ඇති නිදහස වෙනුවෙන්. අපේ දරුවන් වෙනුවෙන්. අපේ අනාගතය වෙනුවෙන්. යුක්රේනය යුරෝපා රටක්. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින් අප කරන්නේ සාධාරණ ඉල්ලීමක්. ඔබ අප සමඟ සිටිනවා යැයි ඔප්පු කර පෙන්වන්න’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේ ඉතා හැඟීම්බරවය.

ජනාධිපතිවරයා යුක්රේන පාර්ලිමේන්තුව ඇමතුවේ යුක්රේන බසිනි. යුරෝපා සංගමයේ නායකයන්ට එම කතාව පරිවර්තනය කළ පර්තකයන් එම කතාව ඇසීමෙන් සංවේදී වූ අතර, එය යුරෝපා නායකයන් සංවේදී කිරීමට හේතුවක් වුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. යුක්රේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමැතුවේ, හමුදා සෙබළුන්ගේ ටී ෂර්ටයකින් සැරැසීය.

ජනාධිපති සෙලෙන්ස්කී කතාව අවසන් කරද්දී, යුරෝපා සංගමයේ සාමාජිකයෝ අසුන්වලින් නැගිට අත්පොළසන් දෙමින්, යුක්රේන ජනාධිපතිවරයාට ප්‍රසංශා කිරීමට ද අමතක නොකළහ.

මේ වනවිට යුරෝපා සංගමය වෙනුවෙන් එහි උප සභාපති මාර්කෝස් සෙෆ්කොවික් පවසා ඇත්තේ යුක්රේන රුසියානු අර්බුදයේ යුරෝපා සංගමය සැමවිටම යුක්රේනයට සහාය දක්වන බවත්, මේ වනවිටත් යුක්රේන හමුදාවට අවි ආයුධ සහ යුදෝපකරණ ඇතුළු මානුෂීය ආධාර ලබා දී ඇති බවය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න