යුද හමුදාව විහාර මහාදේවි මෙහෙයුමේ අවසන් අදියරේ


(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව සිටි පිරිස් වෙත දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානය දින දෙකකට පසු අද (3) දිනයේ පාලුවට ගොස් තිබිණි.

අඛණ්ඩව දෙදිනක් පුරා විශාල සංඛ්‍යාවකට එන්නත් ලබාදුන් යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් ඇතුළු එහි යොදවා සිටි පිරිස් අද දිනයේදී යම් විවේකයක් ගත්තේ තමන්ට පැවරී තිබූ කාර්යය සාර්ථකව අවසානය කරා ගමන් කරද්දීය.

මෙම මධ්‍යස්ථානය ඉකුත් 1 වැනිදා උදෑසන 8.30 සිට දිනයේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරුණු අතර ඉන් එන්නත් ලබාගැනීම සඳහා සහස් සංඛ්‍යාත පිරිසක් පැමිණීමෙන් විහාර මහාදේවී උද්‍යානය දින දෙකක් පුරා අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබිණි.

මෙම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දහවල් වන විට 35,000කට අධික පිරිසක් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම 1 වැනිදා බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී සිදුවූ අතර එම මාත්‍රාව ලබාගැනීමට නියමිතව සිටි පිරිස 4,90,000ක් පමණ වේ.

යුද හමුදාව ක්‍රියාත්මක කළ එන්නත්කරණ මධ්‍යස්ථානවලට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිවූයේ ඒවායේ තිබූ පිළිවෙල හා ජනතා පීඩා අවම කරවන ආකාරයේ සැලසුම් නිසාවෙනි.