යුද හමුදාවෙන් ජනපතිට බෑගයක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද  ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීය.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක්( Attaché Case) භාවිතා කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි. 

ජනාධිපති ලේකම් කාර්යාලය  ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර තිබෙි.

මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උප‍දෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය  ආරක්ෂිතව සහ සැලසුම්සහගතව උසස් තත්ත්වයේ සම් භාවිතයෙන් නිමවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.