රජ සැප කුමට නුඹෙ සෙනෙහස ඇති අම්මේ


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මව විදෙස්ගතවීමෙන් පසු පියා ද අත්හැරයාම නිසා කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ නිවසක තනිව සිටි දියණියන් දෙදෙනාගේ මව නැවත මෙරටට ගෙන්වාදීම කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රට විරුවන් සංවිධානයේ  මැදිහත්වීමෙන් ඊයේ (1) සිදුවිය.
ඒ අනුව මෙම දියණියන් දෙදෙනාගේ මව නැවත නිවසට පැමිණි අතර, මව එන බව නොදැන  පාසල් ගොස් සිටි දියණියෝ යළි නිවසට පැමිණෙන විට මව නිවසේ සිටිනු දැක සතුට දරාගත නොහැකිව ඇය බදාගනිමින් හඬා වැටෙනු දක්නට ලැබිණි.
මැල්සිරිපුර, බණ්ඩිපොල ප්‍රදේශයේ ගරා වැටුණු නිවසක 14 සහ 7 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනකු මවත් පියාත් නොමැතිව ඉතා අනාරක්ෂිත සිටින බව මාධ්‍ය මගින් පසුගියදා හෙළිදරව් කෙරිණි.
ඒ දරුවන්ගේ මව වන නිමාලි නිලුෂිකා මහත්මිය මීට මාස 11කට පමණ ඉහතදී කුවේට්හි ගෘහ සේවයට ගොස් ඇති බවත්, දරුවන්ගේ පියා ඇය එවූ මුදල් ද මත්වතුර බී නාස්තිකරමින් දරුවන්ට විවිධ හිරිහැර කරමින් සිට ඇති අතර, පසුව ඔවුන් හැර දමා ගොස් වෙනත් ප්‍රදේශයක ජීවත් වන බවත් වාර්තා විය.
මෙම තොරතුරු හෙළිවීමෙන් පසු දරුවන්ගේ මව පිළිබධව කඩිනම් අවධානය යොමු කල රට විරුවෝ සංවිධානය සහ කුවේට් තානාපති කාර්යාලයේ නියෝජිතයන් මැදිහත්ව එම මව දින 5ක් ඇතුලත මෙරටට එවීමට පියවර ගෙන තිබිණි.
එලෙස මෙරටට පැමිණි නිමාලි නිලුෂිකා මහත්මිය ගුවන් තොටුපලේ සිට බස් රථයක නැගී මැල්සිරිපුර, බණ්ඩිපොල  ප්‍රදේශ්යේ තම නිවසට පැමිණියාය.
ඇය එන විට දියණියන් නිවසට ගොඩවෙද්දීම එහි තම මව සිටිනු දැක සතුට දරාගත නොහැකිව හඬා වැටුණු අතර, නිමාලි නිලුෂිකා මහත්මිය පැවසුවේ දියණියන් දෙදෙනා ඔවුන්ගේ පියාට භාරදී විදේශයක රැකියාවට ගියේ නිවස තනා ගැනීම සඳහා බවයි.
කෙසේ වෙතත් සැමියා තමන් එවන් මුදල්වලින් මත්වතුර පානය කරමින් දරුවන්ට විවිධ කරදර හා පහරදීම් කර ඇති බවත්, පසුව දරුවන් නිවසේ දමා වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවත් මාධ්‍යවල පළවීමෙන් පසු තමන්ට දරුවන් අසලට පැමිණීමට හැකිවූ බවත් ඇය සඳහන් කළාය.
සැමියා විශ්වාස කර පළමු වරට තමන් රට රැකියාවකට ගිය බවත්, අවසානයේ දී දරුවන් දෙදෙනා අසරණ වීම නිසා නැවත ලංකාවට පැමිණීමට තමන්ට සිදුවූ බවත් ඇය පැවසුවාය.