රජගලතැන්න පුරාවිද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කරයි


වසන්ත චන්ද්‍රපාල

අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඓතිහාසික රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා විසින් යුනෙස්කෝ ආයතනය වෙත රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් කරන ලද අයදුම්පත්‍රය සකස් කර එය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ඇතිව ශ්‍රිලංකාවේ යුනෙස්කෝ නියෝජිතය හරහා යුනොස්කෝ ආයතනය වෙත එය ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම පිළිබඳව සැලිකිමත් වූ යුනෙස්කෝ සංවිධානය ඓතිහාසික රජගලතැන්න පුදබිම තාවකාලික ලෝක උරුමයක් ලෙස පිළිගන්නා බව සිය නිල වෙබ් අඩවියේ සදහන් කර තිබේ.

ඓතිහාසික ස්ථානයක් ලෝක උරුමක් හැටියට නම් කිරීමේදි එහි පළවෙනි අයදුම් පත ලැබුන පසු යුනොස්කෝ ආයතනය විසින් එය සලකා බලා එහි වැදගත්කම සහ ඓතිහාසික වටිනාකම පිළිබඳව අධ්‍යයනයක් කර ඇත. පළමු පියවරේදි එය තාවකාලික ලෝක උරුමයක් හැටියට නම් කරන අතර ඉන් වසර දෙකක කාලයකට පසුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පැවසීය.

වසර ගණනාවක සිට වල් බිහිවෙමින් තිබු රජගලතැන්න පුදබිමෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම කැනීම්වලදි රජගලතැන්න ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවිය. මෙම ව්‍යාපෘතිය සදහා මිලියන 229.38 ක මුදලක් වැය කර තිබේ.