රජයේ රෝහලින් මුදලට සුද්දන්ට බේත්


(අංජුල මහික වීරරත්න)

මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ලේකම්වරයා මේ බව පවසා සිටියේ පොතුවිල් මූලික රෝහලේ සිදුකල විශේෂ නිරීක්ෂණයකින් අනතුරුව අදහස් දක්වමින්ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ වැඩපිළිවෙළක් ලෙස සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කොට විදේශ විනිමය මෙරටට ගෙන ඒම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බවත් එහි පළමු පියවර යටතේ සංචාරක කලාපයන්හි පිහිටි රජයේ බටහිර වෛද්‍ය සහ ආයුර්වේද රෝහල් වල ගෙවීම් සේවා ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම ගෙවීමේ වෛද්‍ය සේවා ස්ථාපිත කරන රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගන්නා විදේශීය සංචාරකයින් තම සේවාවන් ලබා ගත් පසු ඊට අදාළ ගෙවීම් මාර්ග ගත ක්‍රමයට සිදු කල යුතු අතර එම මුදල් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැරවන පරිදි ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, එම අරමුදලට බැරවෙන මුදල් නැවතත් වක්‍රාකාරයෙන් අදාල රෝහලේ සංවර්ධනය සදහාම යෙදවීමට කටයුතු කරන බව ද අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ය.