රජරට ගොවිහු පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති


(නුවන්කුමාර)

මෙවර යල්කන්නය සදහා රජය මගින් පොරොන්දු වු පරිදි සහනාධාර පොහොර දෙන්නැයි ඉල්ලා  එප්පාවල හා තඹුත්තේගම ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා දෙකක්  එප්පාවල හා තඹුත්තේගම නගරවලදි අද පැවැත්විණි.

මෙවර මහවැලි කලාප කාර්යාලයේදී පැවැති කන්න රැස්වීමේදී ගත් තීරණයකට අනුව පොහොර ලේකම් කාර්යාලය තමන්ට නිසි පරිදි පොහොර ලබා දෙන බවට වු පොරොන්දුව මත වී වගාකළත් තම ගොයමට මාස දෙකකට අධික කාලයක් ගත වුවද නිසි පරිදි පොහොර ඇටයක්වත් නොලැබුනු බවද උද්ගෝෂකයෝ කියා සිටියහ.

ජනාධිපතිවරයා විසින් සියළුම වගාවන්ට කාබනික පොහොර යෙදිය යුතු බවත් රසායනික පොහොර භාවිතා නොකරන ලෙස එක්වරම පැවසීම නිසා තමන් දැඩි අසීරූතාවයකට පත්ව සිටින බවත් දශක 5කට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරුවු තමන්ට එක්වරම කොම්පොස්ට් පොහොර භාවිතා කිරිමට නොහැකි බවත් ඔවුහු පවසති.

ගොවියා කොම්පොස්ට් පොහොරවලට හුරුකිරීමේ යෝජනාවට තමන්ද කැමති බවත් එහෙත් එක්වරම එය කළ නොහැකි බව පෙන්වා දෙන ගොවි ජනතාව පවසන්නේ කොම්පොස්වලට ගැළපෙන පරිදි බීජ වර්ග නිෂ්පාදනය කළ යුතු බවයි.