‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද (12) පැවැසීය.
නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් ජාතික වශයෙන් රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම කීය.
සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි ෆයිසර් සමාගම මේ සතිය මුලදී නිවේදනය කළ අතර ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය.
ඒ.බී.සී. පුවත් නාලිකාව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි එම කරුණු සඳහන් කළේය.
දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත්දැයි ඒ.බී.සී. පුවත් නාලිකාවේ රොබින් රොබට්ස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය.
“එහෙම කරන්න වුවමනා වෙන එකක් නැහැ. ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්” යැයි වෛද්‍ය ෆවුචි කීය.
ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි ය. හෙතෙම 1984 වසරේ සිට එම ධුරය හොබවන අතර එම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අනුබද්ධ ආයතනවලින් එකකි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් විඩාවට පත්ව පීඩා විඳින පිරිසට කුමක් කියන්නේ දැයි විමසූ විට වෛද්‍ය ෆවුචි මෙසේ කීය.
“අපිට ළඟ ළඟම උදව් එනවා. එන්නත් විශාල සහ ධනාත්මක බලපෑමක් කරාවි”.
මේ අතර ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 144,133 ක් විය. එය මේ දක්වා ගෙවුණු කාලයේදී ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055