(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ සන්ධානගත (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත.
මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවය.
මෙම කාර්යාලයේ සියලුම ගිණුම් සහ වියදම් කාලයක සිට නිශ්චිත විගණනයකට ලක්වී නොතිබූ බව කතානායකවරයාට තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි සියලු කටයුතු රජයේ විගණකාධිපතිවරයා යටතට පත් කිරීමට කතානායකවරයා පසුගියදා පියවර ගත්තේය.
පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරීන් කීපදෙනකු විදේශ සංචාරවලදී මෙහි විදේශ මුදල්(ඩොලර්) අයථා ලෙස පාවිච්චි කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද කතානායකවරයාගේ අවධානය යොමුවී ඇත.
එසේම එම අංශයේ වාහන පාවිච්චිය සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇත. ඒ පිළිබඳවද විගණන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියකුගෙන් ඊයේ අප කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයා විදේශ සබඳතා අංශයේ පසුගිය කටයුතු කිහිපයක් ගැන මේ දිනවල පුළුල්ව සොයා බලාගෙන යන බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් අක්‍රමිකතා ඇති වීමට ඉඩ ඇති මාර්ග වසා දැමීමට කතානායකවරයා උපදෙස්දී ඇත.