රට හාල් මෙට්‍රික්ටොන් 85000ක් වෙළඳපොලට


(යොහාන් භාසුර)

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්  සීවලී අරුක්ගොඩ මහතා අද (2) පස්වරුවේ පැවසීය.

එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන්  33,000 ක් සහ තැම්බූ සහල් මෙට්‍රික්ටොන් 52,000ක් ඇතුළත් වූ බවත් තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් හැකි ඉක්මනින් නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

මෙම සහල් මෙට්‍රික්ටොන් 85,000 ට රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ සහල් මෙටි්‍රක්ටොන් 780 ක් ද ඇතුළත් බව ද ඒ මහතා කීය.

මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව මේ මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළේය.