(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවා ස්ථානවල ප්‍රචණ්ඩත්වය සහ විවිධ තාඩන පීඩන හේතුවෙන් මෙරට එක් පුද්ගලයෙකුට වසරකදී වැඩ කරන දින හයක් අහිමි වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද(8) පැවසීය.
මෙලෙස වැඩ කරන දින අහිමිවීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක පාඩුවක් සිදුවන බවද
ඔහු සඳහන් කළේය.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙරට සමාගම් නවයක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මේ අතර රැකියා ස්ථානවල පිරිමින්ගෙන් සියයට 75 ක් කාන්තාවන්ට අසාධාරණ සිදුවන ආකාරයට කටයුතු කරන බව ( අවිඥානික පක්ෂග්‍රාහීත්වය) එම වාර්තාවල දැක්වෙන්නේ යැයි පැවසූ විපක්ෂ නායකවරයා එම පිරිමින් කාන්තාවන් බඳවා ගැනීම මෙන්ම ඉදිරියට ඒම වැළැක්වීමට විවිධාකාරයට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
තවද රටේ ගතානුගතික සේවා යෝජකයන් කාන්තාවන් සේවා ස්ථානවලට බඳවා ගැනීමට මැලිකමක් දක්වන බවද එම වාර්තාවේ සඳහන් වන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය.
මෙරට වැඩිම පීඩනයට ලක්වන්නේ කාන්තාවන් තරුණියන් සහ දරුවන් බව පැවසූ විපක්ෂනායකවරයා කාන්තාවන් සහ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකා දෙකක් පිහිටුවන ලෙසට ඉල්ලීමක් කළේය.