රුසියාව යුක්රේනයේ හදවතට කඩා වදියි


රුසියානු හමුදා යුක්රේන කියෙව් නගරයට ඇතුල් වී ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදා විසින් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගැනීමෙන් පසුව යුක්රේන අගනුවර වූ කියෙව් නගරය බලා ගමන් කිරීම ආරම්භ කර තිබූ අතර කියෙව් හි යුක්රේන හමුදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියානු යුද ටැංකි කියෙව් දෙසට ගමන් කරමින් සිටින බවය.

එම නිවේදනය නිකුත් කර ටික වේලාවකට පසුව රුසියානු හමුදා විසින් කියෙව් නගරය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර ඒ හේතුවෙන් කියෙව් නගරයේ ජනතාව විශාල වශයෙන් නගරය අත්හැර දමා යෑමට පෙළඹී තිබුණ බව වාර්තාවේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ට පමණ රුසියානු හමුදා යුක්රේන කියෙව් නගර සීමාවට ඇතුල් වී ඇති අතර මේ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර තිබේ.

ඊයේ දින නගරයේ මිසයිල ප්‍රහාර හමුවේ අනතුරු ඇඟවීම් නලා තුන්වතාවකට වැඩි වාර ගණනක් නාද වූ බව යුක්රේන බලධාරීහු පැවසූහ.

නගරයට පැමිණෙන රුසියානු හමුදාවන් ගෙන් නගරය ආරක්ෂා කිරීම සඳහා යුක්රේන හමුදා වීදි වල ආරක්ෂක මුරපොළවල් යොදා ඇති අතර පැමිණි සහ පැමිණෙන සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පෙට්‍රල් බෝම්බ සදා ගෙන සුදානම් වී සිටින ලෙස යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය කියෙව් නගරයේ සිටින සිවිල් වැසියන්ට පවසා තිබේ.

දැනට නගර සිමාවේ කෙතරම් රුසියානු  හමුදා සිටීදැයි ප්‍රකාශ කර නැතත් තවත් හමුදා සහ සන්නද්ධ වාහන කොනොටොප් සිට පැමිණෙමින් සිටින බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

කියෙව් නගරය බලා රුසියානු හමුදා පැමිණි ගමනේදී රුසියානු හමුදාවේ 800 ක් මරණයට පත් වූ බවත්, යුද ටැංකි 30, සන්නද්ධ රථ 130, ප්‍රහාරක හෙලිකොප්ටර 6 ක් සහ යුද ගුවන් යානා 7 ක් විනාශ කිරීමට යුක්රේන හමුදා සමත් වුණු බවත් යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.58 රුසියානු විදේශ අමාත්‍යංශය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් ප්‍රකාශ කළේ අපි යුක්රේනය නාසින්ගෙන් නිදහස් කරනවා යනුවෙනි.

බේරීමට මගක් නොවූ විට  ත්‍රස්තවාදීන් ක්‍රියා කරන්නා සේ යුක්රේන හමුදා විසින් සිවිල් ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉගෝර් කොනශෙන්කොව් කියයි.

තවද යුක්රේන හමුදා සිවිල් වැසියන් බහුලව ජීවත් වන ප්‍රදේශ වල බහු රොකට් විදිනයන් ස්ථානගත කර ඇති බවත් එවිට රුසියානු හමුදා එයට පහරදෙන විට යුක්රේන සිවිල් වැසියන් විශාල වශයෙන් මරණයට පත් විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

යුක්රේනයේ සිටින නිදහස් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කර සිටියේ සිවිල් ඇඳුමෙන් සිටින ඒ.කේ 47 ගිනි අවි අත දරා ගත් පුද්ගලයන් කියෙව් නගරයේ සිටින අයුරු දැක ගත හැකි බවත් සමහර පුද්ගලයන් අත ආර්.පී.ජී පවා  තිබෙන බවයි.

හමුදා සංචිතයේ සිටින අතිරේක සොල්දාදුවන්ට ගිනි අවි 18000 ක් සහ පතොරම් ලබාදුන් බව යුක්රේනු ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් පවසයි.

අතිරේක සොල්දාදුවන් යනු හමුදා පුහුණුව ලැබූ සිවිල් වැසියන්ය.

(034)

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න