රොහින්ග්‍යා සරණාගතයන් ගැන මුජුබුර්ගෙන් ජනපතිට ලියුමක්


(අංජුල මහික වීරරත්න)

මුලතිව්  මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි.

 එම යුද අනාථයන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ද මුදුමය රහුමාන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී ධිවරයන් විසින් දෙසැම්බර් 19 දා බේරාගෙන රජයට බාරදීමෙන් පසු දැන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින එම සරණාගතයන් පිරිස ආපසු මීයන් න්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය තම බලවත් කම්පාවට හේතු වන බවද එම ලිපියේ සඳහන් සඳහන් වේ. 

යුද බියෙන් ජීවිත බේරා ගැනීමට පලායන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් හතලිහකට වැඩි සංඛ්‍යාවක් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇතැයිද  ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබාගැනීම බවද මුජුබුර් රහුමාන්  මහතා සඳහන් කරයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීම බව සඳහන් කරන මන්ත්‍රීවරයා එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව සඳහන් කරයි.

සරණාගත පිරිස නැවත මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මූලධර්මයට ද හරස්ව යාමක් බවද මුජුබුර් රහුමාන්  මහතා වැඩිදුරටත් පවසයි.