(අංජුල මහික වීරරත්න)
අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරක යන්ත්‍ර 14 ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස 2013 වර්ෂයේදී එක්සත් රාජධානියේ Elekta සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුමකට එළඹ ඇත.
ඒ අනුව, එම ව්‍යාපෘතියේ I අදියර යටතේ ජාතික පිළිකා ආයතනයේ රේඛීය ත්වරක යන්ත්‍ර 04 ක්ද මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර 02 ක් ද, ගාල්ල ජාතික රෝහලේ 01 ක් ද, මඩකලපුව ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01 ක් ද, යාපනය තෙල්ලිපලෙයි මූලික රෝහලේ යන්ත්‍ර 01 ක් ද වශයෙන් යන්ත්‍ර 9 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ.
ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින්, ව්‍යාපෘතියේ II අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 05 සඳහා උසස් තාක්ෂණයෙන් යුත් Infinity රේඛීය ත්වරක යන්ත්‍ර ස්ථාපිත කිරීමටත්, එම යන්ත්‍ර ස්ථාපිත කිරීමට හැකි වන අයුරින් අදාල රෝහල් තුළ බංකර ඉදි කිරීම සඳහා පියවර ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.