ලංකා මාතාව මෝදි පිළි ගනී


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළිගනු ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.15ට පමණ උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයා අතට අත දී සුහදශීලීව පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ ජාතික ගීත ගායනයෙන් පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෞරවය පළ කිරීම සඳහා ආචර වෙඩි මුර මෙහිදී පිරිනැමිණි.

අනතුරුව යුද හමුදාව විසින් පිරිනමන ලද සම්මාන මුරය රතු පලස මතින් ගොස් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුව දෙරට රාජ්‍ය නියෝජිතයන් හඳුනා ගැනීමේ අවස්ථාවට එක් විය.

මෙම අවස්ථාවට ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

(ඡායාරූප: ලහිරු ලහිරු හර්ෂණ)