ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත. 

එළැඹෙන 21 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණ කාල සීමාවේදී සහ ඉන් පසු ඕනෑම මොහොතක විරෝධතා ඇති වීමට ඉඩක් තිබෙන බවත් යාවත්කාලීන කළ  සංචාරක උපදේශනයේ දැක්වේ.

විරෝධතා විසුරුවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථා තිබෙන බවත් ඒ හේතුවෙන් සාමාකාමී ජනතාව එක්රැස් වන අවස්ථා ඇතුළුව සියලුම එක්රැස්වීම් මගහැර සිටින ලෙස ඇමෙරිකානු ජනතාවට උපදෙස් දෙන බවත් එහි සඳහන් වේ.

සාමකාමී එක්රැස්වීමක් වුවත් ඕනෑම අවස්ථාවක ප්‍රචණ්ඩකාරී එකක් විය හැකි බව සංචාරක උපදේශනයේ දැක්වේ.

ඒ හේතුවෙන් සංචාරක ස්ථානවලට සහ මහජනතාව එක්රැස්වන ස්‌ථානවලට යාමේදී තම වටපිටාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගම්බද ප්‍රදේශවල සිටින ඇමෙරිකානු ජාතිකයන්ට හදිසි අවස්ථාවල සහාය විය හැකි අවස්ථා සීමිත බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.