උඩරට වතුකරයේ ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ ගැලවුම්කාරයා ලෙස ඉදිරිපත් වෙමින් ඔවුනට නායකත්වය දුන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා සිය 56 වැනි ජන්ම දිනයට දින තුනක් තිබියදී ඉකුත් අඟහරුවාදා 26 වැනිදා හදිසියේ රෝගාතුර වී තලංගම රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1964 මැයි 29 වැනිදා උපත ලැබූ ආරුමුගම් තොණ්ඩමන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මොහු දේශපාලනයට පිවිසෙන්නේ තම සීයා වන දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අඩිපාරේ යමින් 1993 වසරේ දීය. ඔහු මුලින්ම ලංකා කම්කරු කොංග්‍රසයේ මූල්‍ය පරිපාලන ලේකම් ධූරයට පත්වන අතර 1994 වසරේ දී කොංග්‍රසයේ ඉහළම නිලය වන මහ ලේකම් ධූරයට පත්වේ.
ආරුමුගන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධූරයට පත්වීමට එරෙහිව එම පක්ෂයේ සිටි ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඇතුළු කණ්ඩායමක් කොංග්‍රසයෙන් ඉවත්ව ගොස් වෙනම පක්ෂයක් පිහිටුවා ගත්හ. ඒ සමගම ඔවුන් විසින් දියත් කරනු ලැබූ විරෝධතාව හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයට අයත් වතුකරය පුරා පිහිටි කොංග්‍රස් කාර්යාල රැසක් අකර්මණ්‍ය වී තිබිණි. එසේ වුවද ඒ සියලු විරුද්ධ බලවේග පරාජය කර ලංකා කම්කරු කොංග්‍රසය දියුණු මාවත කරා ගෙන යාමට ආරුමුගන් තොණ්ඩමන් මහතා සමත් විය.
නවකයකු ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධූරයට පත්ව මුලින්ම පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ආරුමුගන් තොණ්ඩමන් මහතා මුහුණ දුන්නේ 1994 වසරේ දීය. එම මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරමින් මනාප 75,000කට අධික ගණනක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ආරුමුගන් තොණ්ඩමන් මහතා වෘත්තිය සමිති ව්‍යාපාරයට සහ දේශපාලනයට නවකයකු වුවද ඔහු ඒ සියලු කටයුතු සඳහා සාර්ථක පුද්ගලයකු ලෙස ගොඩනැගීමට සෞම්‍යමූර්ති තොණ්ඩමන් පියවර ගෙන තිබීම ඔහුගේ දේශපාලන ගමන් මග අතිසාර්ථක වීමට හේතු විය.
1999 දී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ශ්‍රී ලංකා දේශපාලනයේ රජුන් තනන්නා ලෙස ප්‍රචලිතව සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා මිය යාමෙන් පසු එහි නායකත්වයට ආරුමුගන් තොණ්ඩමන් මහතා ඍජුවම පත්වන්නේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය හා එක්ව කටයුතු කරමින් වතුකරය පුරා නව මාදිලියේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ වතු කම්කරුවන්ගේ දියුණුව උදෙසාය.
2000 වසරේදී තමන් වතු පාලනය කරන වැවිලි සමාගම් 22 හි නියෝජනයක් වන වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා සාකච්ඡා කරමින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සියයට 20කින් වැඩිකර දීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගය වතුකරය පුරා ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ බලය ඉස්මතු වීමට පළමු පියවර විය.
2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ හා එක්ව තරග කිරීමෙන් ඔවුනට හිමිවූයේ පාර්ලිමේන්තු ආසන 04ක් පමණි. එසේ වුවද එදා රජුන් තනන්නා ඔහු විය. ඔහුගේ මන්ත්‍රීධූර 04 ආණ්ඩුව පිහිටුවීමේ තීරක බලය විය. එහිදී පොදුජන එක්සත් පෙරමුණට සහාය දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉන්දීය සම්භවයක් ඇති නියෝජිතයකු පත්කරන්නට ද ආරුමුගන් තොණ්ඩමන් මහතා සමත් විය.
එසේ වුවද 2001 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තමන්ට පෙර මැතිවරණයේ අත්වූ ඉරණම ද සැලකිල්ලට ගනිමින් යළිත් වතාවක් එජාපය හා එක්ව තරග කරමින් එම රජයේ නිවාස සහ වතුයටිතල පහසුකම් අමාත්‍යධූරය හිමිකර ගන්නට සමත්විය. කොතරම් තනතුරු තානාන්තර ලැබුණද තමන් නියෝජනය කළ ජන සමාජය අමතක නොකළ ආරුමුගන් තොණ්ඩමන් එම ජනතාවගේ මූලික ප්‍රශ්නය වූ දෛනික වැටුප තවදුරටත් වැඩිකර දීම පිළිබඳ යළිත් වතාවක් වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා සාකච්ඡා කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2002 වසර වනවිට රුපියල් 121 ක්ව තිබූ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 147 දක්වා වැඩි කිරීමට පියවර ගත්තේය.
වතු කම්කරුවන් වෙනුවෙන් සිදුකරන ලද සටන් එතෙකින් නිමා නොකළ ආරුමුගන් තොණ්ඩමන් එවකට රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ලබාදෙන ලද වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ට ද ලබා දෙන ලෙස ප්‍රබල හඬක් නැගීය. ඊට වතු හාම්පුතුන්ගේ සම්මේලනය නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා එම ඉල්ලීම ඉදිරිපත් කරමින් හැටන් නගරයේ සත්‍යග්‍රහ සටනක් දියත් කර එම වැටුප් වැඩිවීමද ලබාදීමට කටයුතු කළේය.
වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතිය හිමිකර දෙමින් තේ වතු කම්කරු වෘත්තියට පමණක් සීමා වූ වතු ප්‍රජාව එයින් මුදාගැනීමට අධ්‍යාපනයේ නව දියුණුවක් ඇති කිරීමට හෙතෙම පියවර ගත්තේය. එවකට පැවති හර විෂයයන්හි ගුරු හිඟය පියවීම උදෙසා ඉන්දියාවෙන් පවා විශේෂිත ගුරුවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වා වතුකරයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමටත් එතුළින් වතු අධ්‍යාපනය ඉහළ නංවා ඉහළ ප්‍රතිඵල තුළින් වතු කම්කරු දරුවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයන් හිමිකර දීමටත් හෙතෙම සමත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස වතු කම්කරු දරුවෝ අද රජයේ රැකියා රැසකට හිමිකම් පාති. වෛද්‍යවරු පවා වතුකරයෙන් බිහිවී සිටිති. වතු ජනතාව වෙනුවෙන් මෙවන් විශිෂ්ට සේවයක් කළ තවත් තොණ්ඩමන් කෙනකු නික්ම යන්නේ ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරියට ගෙන යාම සඳහා තවත් තොණ්ඩමන්ලා දෙදෙනකු ඉතිරි කරමිනි.
(*** එස්. අස්ලම්)