වප් පොහොයෙහි වැදගත් සිදුවීම් මෙසේය.
1 වස් පවාරණය කිරීම
2 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම
3.සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවා ගැනීම සඳහාඅරිට්ඨ ඇමතිවරයා දඹදිවට යෑම.
4.ථූපාරාමයේ දී විනය සංගායනාව ආරම්භ කිරීම
භික්ෂූන් වහන්සේලාට වස් කාලයේ සේ සැලකූ තුන් මාසය මෙම පොහොය උදාවත් සමඟ නිමාවෙයි.
ඒ අනුව වස් එළැඹි භික්ෂූන් වහන්සේලා වස් පවාරණය සිදු කරන හෙයින් මෙම වප් පොහොය ට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවේ.
මෙම පොහොයේ සිට ඉල් පොහොය දක්වා මාසයක කාලයක් චීවර මාසය ලෙස හැඳින්වේ.
ඒ අනුව කඨින පූජා කිරීමට බලාපොරොත්තු වන සෑම දෙනාටම කඨින චීවරය පූජා කිරීමටඅවස්ථාව ලැබේ.
බුදුරජාණන් වහන්සේ වස් කාලය මුළුල්ලේ තව්තිසා දෙව්ලොව වැඩ සිටි අතර උන්වහන්සේ නැවත සංකස්ස නුවරට වැඩම කෙරුණේ අදට යෙදී ඇති වප් පුර පසළොස්වක පොහොය දිනකය.
තථාගතයන් වහන්සේගේ එම අසිරිමත් වැඩමවීම දැකබලා ගැනීම සඳහා අපි විශාල ජනතාවක් රැස්ව සිටි බව සඳහන් වේ. එම පිරිස අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද සිට ඇති අතර උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබාගෙන ඇතැයිද සඳහන් වේ.
ඊට අමතරව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර මෙරටට ලබා දුන් දයාදය වන සම්බුදු සසුන කෙරෙහි පැහැදුනු අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවෝ පිරිසක් මිහිඳු මාහිමියන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියහ.
කාන්තාවන් පැවිදි කිරීම තමන්ට අකැප බව සඳහන් කර ඇති මිහිඳු මහරහතන් වහන්සේ සිය නැගණිය වූ සංඝමිත්තාව මෙරටට වැඩම කිරීම සඳහා කටයුතු කරන ලෙස දේවානම්පියතිස්ස රජතුමාට දන්වා තිබේ.
ඒ අනුව අරිට්ඨ ඇමතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක අධිරාජ්‍යයා හමුවට යවා ඇත්තේද අද වැනි දිනකය.
ශාසනයේ අභිවෘද්ධිය සඳහා මහත් සේවාවක් සිදු කළ දෙවන පෑතිස් රජතුමා වරක් මිහිඳු මහරහතන් වහන්සේ හමුවේදී .
සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටියේදැයි විමසා ඇත. ංඊට පිළිතුරු දී ඇති මිහිඳු මාහිමියෝ පවසා ඇත්තේ ලංකාවේ මවුපියන් නිසා උපන් දරුවෙකු හැදී වැඩි මෙරටදී මහණ වීඋපසම්පදාව ලබා ධර්ම විනය හදාරා මෙරටදීම විනය සංගායනාවක් පවත්වනතුරු ශාසනය නොපිහිටන බවය.
ඒ අනුව දෙවන පෑතිස් රජතුමාට කිට්ටු ඥාතීත්වයක් ඇති මහා අරිට්ට ඇමතිවරයා පන්සියයක් පිරිස සමඟ මෙරටදී පැවිද්ද හා උපසම්පදාව ලබා ඇත.
අනතුරුව අරිට්ඨ හිමියෝ විනය හදාරාතවත් භික්ෂූන් වහන්සේලා හා එක්ව ථූපාරාමයේදී විනය සංගායනාවක් පවත්වා ඇත.
ඒ අන්දමට බුදුසසුන ශ්‍රී ලංකාද්විපයෙහි ස්ථාපිත කරනු ලැබුවෙිද මෙවන් උතුම් වප් පුරපසළොස්වක පෙහොය දිනක බව ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වේ.
(මෙම තොරතුරු අප වෙත ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සී නාහිමිපාණන් වහන්සේට අපගේ බැතිබර ස්තුතිය පුදකරමු)
(ආරියරත්න රණබාහු )