වරාය නගරය - අධිවේගය යා කරයි - වීඩියෝ


(ඩයනා උදයංගනී)

පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිවන, ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය  දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු පාලම් කොටස සවිකිරීමේ උත්සවය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරිණි.

පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත මෙම අධිවේගී මාර්ගය ඉදිවේ.

කොළඹ නගරයට පිවිසීමේදී පවතින අධික රථවාහන තදබදයට පිළියමක් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

කුළුණු මතින් දිවෙන මෙම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර 5.3 ක් වන අතර එය මංතීරු 4 කින් යුක්තය.

මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 2,800 ක මුදලක් වැය කෙරෙන අතර මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

මෙම අධිවේගී ඉඟුරුකඩේ පිවිසුම, පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලුත් මාවතේ පිවිසුම, ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වශයෙන් පිවිසුම් පහකින් සමන්විතය.

මෙම අධිවේගී මාර්ගය ඔස්සේ වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනයට අවස්ථාව ලැබෙන අතර ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී එය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගයට ද සම්බන්ධ වේ.

ඡායාරූප - ගයාන් අමරසේකර