වසර ගණනාවක් වසා දමා අකර්මණ්‍යව, අබලි යකඩවලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසි තොගය රජයේ මුද්‍රණාලය වෙත පළමු ඇණවුම ලෙසින් බාරදීම අද(27) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදුකෙරිණි.
ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණවුම රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය විසින් ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවාය.
මෙම කටයුත්ත නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
දශක ගණනාවක් තිස්සේ වසා දමා තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල යළි විවෘත කර එමඟින් ශ්‍රීපත් යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි́ පළමු තොගය වෙළඳපොළට නිකුත් කිරීම එවකට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණේ 2020 අගෝස්තු 02 වැනිදා ය.
ඒ අනුව 2020 අගෝස්තු 02 වැනිදා සිට පෞද්ගලික අංශයෙන් ලැබෙන ඇණවුම් සඳහා සැපයුම් සිදු කළ වාලච්චේන කඩදාසි කම්හල මඟින් රජයේ මුද්‍රණ කටයුතු සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කොට එතුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ රා.සේ.පි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි,,පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ.
ඉහත කී ටොන් 20ක කඩදාසි තොගයේ නිල ඇණවුම භාර දෙන අවස්ථාවෙහි එම තොගය සංකේතාත්මක නිරූපණය කරමින් අදාළ කඩදාසි වර්ග තුනෙහි සාම්පල අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිළිගන්වනු ලැබුවේය.
මෙම අවස්ථාවට ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද එක්ව සිටියේය.