බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම මහතා මිය ගියේය. ඔහු සමග යතුරු පැදියේ ගමන් කළ පොලිස් නිලධාරියා ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඩිෆෙන්ඩර් රථය පැදවූ නීති ශිෂ්‍යයා බීමතින් සිටි බවට තහවුරු වූ බවත් ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය.
වැල්ලවත්ත පාමංකඩ මායා වටරවුම ප්‍රදේශයේ මෝටර් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 41 හැවිරිදි තිදරු මවක මිය ගියාය. ඇය ගමන් කළ රිය පැදවූ සැමියා බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද මාධ්‍ය වාර්තා කළේය. එසේ අකාලයේ ජීවිතයට සමුදුන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියක වූ විණාවි සුලක්ෂණා මාපිටිගම මහත්මිය බවද සඳහන්ය. ඔවුන් ගමන් කළ මෝටර් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
මහ මගට බැසීම දින නියමයක් නැති මරණ වරෙන්තුවක් අතට ගැනීමක් යැයි සිතෙන තරමට රිය අනතුරු සම්බන්ධ පුවත් වාර්තා වෙමින් තිබේ. කොරෝනා මාරක වසංගතය පැමිණීමට පෙර ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ ද රිය අනතුරුය. මෙම රිය අනතුරු අවම කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් මෙන්ම දියුණු වැඩපිළිවෙළක අවශ්‍යතාව ඒ සමයේ තියුණු සංවාදයකට ලක් විය.
කොරෝනා මාරාන්තික වසංගතය හේතුවෙන් දෙමාසයකට වැඩි කාලයක් රට හුදෙකලා කෙරිණි. මාරාන්තික වසංගතය හරහා මරණ බියක් නිර්මාණය කර තිබුණද රිය අනතුරු වාර්තා නොවීමේ සතුට ගංවතුරක් මෙන් ගලා ගියේය. එහෙත් කොරෝනා බිය පහව ගොස් රට යළිත් පිබිදෙමින් තිබෙන මොහොතක රිය අනතුරු භීතිය යළිත් රට දෙවනත් කරමින් තිබේ. මෙම මාරාන්තික ව්‍යසනය සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමින් අවධානය යොමු කළ යුතු මොහොත උදාවී තිබේ.
බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ රිය අනතුරෙන් මිය ගිය රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම මහතා විශේෂ අවධානයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයකි. කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක් කොල්ලකා පලා යමින් සිටි වෛද්‍යවරයා හඹා ගොස් කුදලා ගැනීමට සිතුම් දුලීප ද දායක විය. එම වෛද්‍යවරයා මුදල් කොල්ල කා පලා ගියේ පිස්තෝලයක්ද සමගිනි. එය ව්‍යාජ පිස්තෝලයක්ද නැද්ද යන්න ඒ මොහොතේ නිශ්චය වී නොතිබුණ පරිසරයක එම වෛද්‍යවරයා කුදලා ගැනීමේ මෙහෙයුමට නිර්භයව ඔහු දායක විය. එම වීර ක්‍රියාව සම්බන්ධයෙන් මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනා හා ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව විශේෂ ඇගයුමට ලක්විය. රිය අනතුරෙන් එසේ අකාලයේ මිය ගියේ එවන් නිර්භීත පොලිස් නිලධාරියෙකි.
එම පොලිස් නිලධාරියාගේ මව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මුදල් කොල්ලකෑ වෛද්‍යවරයා කොටුකර ගැනීමේ මෙහෙයුමට තම පුතා සම්බන්ධ බවට තමන් දැන ගනු ලැබුවේ ඉන් දින කිහිපයකට පසුව බවය. ‘රාජකාරියට අදාළ කිසිම දෙයක් පුතා අපිත් එක්කවත් කතා කරන්නේ නෑ’’ ඒ අම්මා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කළ එම පොලිස් විරුවා තම රාජකාරියට සාධාරණය ඉටු කර ඇති බවය. මහමග එසේ අකාලයේ මියගියේ රටේ අනාගතයට වැඩදායි මිනිසෙකි. වැල්ලවත්ත පාමංකඩ මායා මාවත ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් කුඩා දරුවන් තිදෙනකුට ආදරණීය මව අහිමි විය.
ඉහත සිදුවීම් දෙක ඇසුරෙන් වුවද රිය අනතුරුවල අලාභය වටහා ගත හැකිය. මහ මග යකඩ තහඩු කඳන් අතරේ ඇඹරී මිය යන්නෝ රට සරසන්නට පුළුවන් මිනිස්සුය. මේ රටේ අනාගතයට ඇවැසිම මිනිස්සුය. මේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගත යුතුය. එය තවදුරටත් කල් දැමිය හැකි නොවේ.
යම්කිසි සමාජයක පැවැත්මට යම් තර්ජනයක් එල්ලවන්නේ නම් සමාජයේ පැවැත්ම අභියෝගයට ලක් කරන්නේනම් එය සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනේ. ඒ අනුව රිය අනතුරු යනු සමාජ ප්‍රශ්නයකි. සමාජයේ පැවැත්ම බරපතළ ලෙස ප්‍රශ්න කරන්නකි. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැතිව මහ මග බැසීමට පුරවැසියාට හැකියාවක් නොමැති නම්, තමන් නිවෙසේ සිටියද මහ මගට පිවිසි තම පවුලේ සාමාජිකයාගේ ජීවිතය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවීමට සිදුවන්නේනම් එය ඉතා දුක්ඛිත තත්ත්වයකි. ඛේදවාචක යනු ඒවාය. සමාජයක් වශයෙන් අප සිටින්නේ එබඳු ඛේදවාචකයක් මත දෙපා තබා ගෙනය. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.
තිස් වසරක යුද්ධයෙන් මිය ගිය මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා මිනිසුන් පිරිසක් වසරකට රිය අනතුරුවලින් මිය යන බව සත්‍යයකි. ඇතැම් රිය අනතුරුවලින් පවුල් පිටින් මිහිදන් කිරීමට සිදු වූ බව ද සත්‍යයකි. ඉපදෙන සෑම මිනිසකුම කවදා හෝ දිනෙක මිය යනබව සැබෑවකි. එහෙත් එසේ යැයි කියා නිස්කාරණේ මහමග මිය යා යුතු නැත. මෙම ඉරණම වෙනස් කිරීම සඳහා නොපමාව අවධානය යොමු කළ යුතුය. එය ජාතික අවශ්‍යතාවකි.