(නිමල කොඩිතුවක්කු, නිරෝෂණ පෙරේරා, සුනිල් එස් තන්ත්‍රිආරච්චි, සුදත් පුබුදු කීර්ති, ඩබ්ලිව් ඩී එම් විතානගේ, තුසිත කුමාර ද සිල්වා සහ රේඛා තරංගනී ෆොන්සේකා)
තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් දිවයිනපුරා පවුල් 30017 කට අයත් 118210 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් මේ හේතුවෙන් නිවාස 235කට අර්ධ හානි සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වනවිට පුවුල් 1721 කට අයත් 6852ක් ආරක්ෂිත ස්ථාන 79 ක රඳවා ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 16707කට අයත් 68672 ක පිරිසක් පීඩාවට පත්ව සිටිති. මෙයට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 999 කට අයත් 3616 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10914 කට අයත් 40231 ත් පීඩාවට පත්ව සිටිති.
කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, ගාල්ල පොලොන්නරුව, නුවර, කුරුණැගල, පුත්තලම මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වලටද ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගංවතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයකට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයටද බාධා එල්ල විය.
ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම් කාර්්‍යාලවල මැදිහත්වීමෙන් ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් මූළිකත්වයෙන් සිදුකෙරිණ.
කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොළොන්නාව, වැල්ලම්පිටිය, කැලණිමුල්ල, අඹතලේ, ගල්වාන, කඩුවෙල පහත්බිම් රැසක් මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවිය. කැලණි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග හංවැල්ල ජල මාපකයේ ජල මට්ටමද මීටර්. 8.8 දක්වා ඉහළ ගියේය.
මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව පිහිටි පහත්ගම, ගොඩපරගොඩැල්ල, සීවලීවත්ත, ජයවීරගොඩ, වලව්වත්ත, වනහගොඩ, ඊරියගොල්ල ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවීමෙන් එම ප්‍රදේශයේ නිවාසවල සිටි පිරිස් අවතැන් කඳවුරු වෙත යොමු කෙරිණ’.
කැලණි ගග පිටාර දැමීමෙන් බියගම කැලණි ගග මිටියාවතේ බියගම වීරසේකරපුර හා බණ්ඩාරවත්ත නගරය ජලයෙන් යටවී ගමනාගමනය ඇනහිටී ජන ජීවිතයට බාධක පැමිණ තිබුණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් සඳහා නායයෑම් අවදානම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරනු ලැබීය. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල නායයෑම් අවදානම් ඇතැයි හදුනාගත් ස්ථාන සහ නායයෑම් අවදානම් ජනාවාස පොකුරු ලෙස හදුනාගත් ප්‍රදේශ වල පදිංචිකරුවන් වඩාත් අවදානයෙන් සිට්න ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා ඉල්ලීමක් කරයි.
මීට අමතරව කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය.
කළුතර - බණ්ඩාරගම ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යටවිය. නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග පහත් බිම් හා මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1100 කට අයත් පුද්ගලයින් 3600 පමණ අවතැන්වී ඇතැයි කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශානිත ත්‍රිමාන්න මහතා පැවසිය.
කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම හේතුවෙන් අපහසුතාවයට පත් වන අයට සහය වීම සඳහා ආපදා කළමණාකාරණ අංශ කටයුතු කරන බවත් අවතැන් වූවන් සඳහා පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල ආදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට මෙම තත්වය බලපා ඇති අතර මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වැඩිම හානියක් වාර්තා විය. තම කොට්ඨාශයේ පවුල් 390 කට අයත් පුද්ගලයින් 1232 ක් අවතැන් ව සිටින බව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ජලය පිරී තිබූ වෙළකට වැටීමෙන් ලෙනවර ප්‍රදේශයේ පදිංචිව සිටි වැලිකලගේ වසන්ත කුමාර නැමති අවු .48 ක පුද්ගළයෙකු මිය ගිය බවද ඇය සඳහන් කළාය.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බේරුවල පිංහේන, සහ පයාගල මැහිමුල්ල යන ප්‍රදේශ දෙකෙහි බලපෑ තද වැසි හේතුවෙන් නිවාස දෙකකට යාබද පස් කඳු කඩා වැටීමෙන් එම නිවාස දෙකට බරපතල හානි සිදුව ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී නීතිඥ තරිඳු වීරසේකර මහතා ඊයේ (13)පැවසීය.
බේරුවල ප්‍රදේශයට ඇදහැලුණු මහා වර්ෂාවෙන් නගර සභා බල ප්‍රදේශයට අයත් අබ්දුල් මුවිස් මාවත හා යසර් අර්ෆත් මාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවිය.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය ගලා ඒම වලකාලීමට ඒ ආසන්නයේ වැලිකොට්ට අතුරා ගං වතුර අවධානමෙන් මුදවාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පියවර ගනු ලැබීය.
පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට පූර්ණ සහයෝගය ලබාදීමට භටපිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් පළවෙනි බලකායේ බලකාධිපති හා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දුන්නේය.
කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවධානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට සහ කැළණිමුල්ල කොහිලවත්ත ප්‍රදේශයේ තවත් ඇළ මාර්ගයකට වැලි කොට්ට අතුරා ගංවතුර අවධානම අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදවේ 2 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් යොමුකරනු ලැබීය.
මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක් (06) ස්ථානගත කිරීමට නාවික හමුදාව පියවර ගනු ලැබිය.