විදුලි බිලට එරෙහිව පෙත්සමකට අත්සන් ගනියි


(ශාන්ත රත්නායක)

පන්සල්, පල්ලි ,කෝවිල් අඳුරේ, ජනතාව මත බර පටවන, විදුලි බිල,ජල බිල හා ඉන්ධන මිල පහත දමන ලෙස බලකරමින්  ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් ගැනීම කොළඹ කොටුව බෝගහ අසල දී අද පැවැත්විණි. 

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතන හිමියන් අදහස් දක්වමින් පැවසුවේ ජීවන බරෙන් ගෙල මිරිකා සිටින ජනතාවට විදුලි සැර වැද්දමින් ආණ්ඩුව විදුලි බිල අහස උසට වැඩි කර ඇති බවයි.

මිය යෑමට පණ අදින ජීවිතවලට ජීවය දෙන ඖෂධ මිල වැඩිකිරීමෙන් ජනතාවට මරණය ම වැළඳ ගැනීමට ඉඩ සලසා ඇති බව ද ඒ හිමියෝ කියා සිටියහ.

පන්සල්,පල්ලි කෝවිල් ආදී ආගමික ස්ථානවලට 550% න් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් එකී ආගමික මධ්‍යස්ථාන අඳුරට හෙළා ඇති අතර එම ආගමික මධ්‍යස්ථානවල විදුලි බිලේ බරක් බැතිමත් ජනතාව මත පටවා ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.