විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි


(රංජන් කස්තුරි)

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

ජපානයේ නිෂ්පාදිත මෙම නව විදුලි ජනන යන්ත්‍රයට ජලය ලීටරයක් පමණ ප්‍රමාණයක් යෙදිය යුතු අතර ඉන් පැය 24කට පමණ අවශ්‍ය විදුලිය පහසුවෙන් ජනනය කළ හැකි බව එම විදුලි ජනන යන්ත්‍රය  මෙරටට හඳුනාව දෙන ග්‍රීන් ලංකා සස්ටේනබල් සොලුෂන් සමාගමේ සභාපති එස්.සෙන්දිල් කුමාරන් මහතා කොළඹදී ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

සමස්ත ලෝකයම අද බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් අවධියක ජලය ලීටරයක් වැනි  ඉතාම අඩුවියදමකින් පරිසර හිතකාමී ලෙස විදුලිය ජනනය කළ හැකි ජනන යන්ත්‍රයක් නිපදවිම සුවිශේෂී තත්ත්වයකැයි ද සෙන්දිල් කුමාරන් මහතා කීවේය.

ජපානයේ ග්ලොබල් ලින්ක් සමාගම නිපදවා ඇති මෙම ජනන යන්ත්‍රයට ජලය එකම අමුද්‍රව්‍ය ලෙස භාවිතකරන අතර ජලයෙන් හයිඩ්‍රජන් වායුව වෙන්කරගෙන විදුලිය නිපදවීමට හැකිවීම ලොව විදුලි ජනන කේෂත්‍රයේ විප්ලවීය වෙනසකැයි ද සෙන්දිල් කුමාරන් මහතා කීය.