විදෙස් ගමන් බලපත් ගැටලුව ලිහන හැටි දෙපාර්තමේන්තුව පවසයි


(අංජුල මහික වීරරත්න)

නොවැම්බර් මස අග භාගයේදී තවත් විදේශ ගමන් බලපත්‍ර 100,000ක් ද දෙසැම්බර් මාසයේදී තවත් ගමන් බලපත්‍ර 150,000ක පමණ  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව 'P' කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර මේ වන විට 50,000 ක් ආගමන කා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

ඊට සමගාමීව තවත් හිස් ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කොට ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට දිනකට  විදේශ ගමන් බලපත්‍ර 1,600 ක පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රම වේදය සකස් කිරීමට හැකියාව ලැබෙන බවද දෙපාර්තමේන්තුව කියයි.

විධිමත් පරිදි දිනයක් හා වේලාවක් මාර්ග ගත ක්‍රමය යටතේ වෙන් කරගැනීම සඳහා ක්‍රම වේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.