විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවෙයි


(හර්ෂණ තුෂාර සිල්වා)


විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත.


පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී විදෙස් ගත ශ්‍රී ලංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 554කි. 
පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරට ලැබුණු විදෙස් ප්‍රේෂණ හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස හතරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය 9% කින් අඩු වී ඇත. 


ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරටට ලැබී ඇති සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,171ක් වන අතර මේ වසරේදී ලැබී ඇති ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,975කි.


මේ අතර මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700කට වැඩි ප්‍රමාණයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තවත් 23 දෙනකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.


නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මැද පෙරදිග සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8,000කට පිරිසක් නැවත මෙරටට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 


තවත් 40,000ක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ගෙන් 25,000කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්විය යුතුව සිටින බවත් එම කාර්යාංශය සඳහන් කරයි.