ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුව විභාගයෙන් ඉවත් වන බවට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් දෙපලක් අද (27) දැනුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරුවන් වන මංජුල තිලකරත්න හා සුජීව නිස්සංක යන මහත්වරු මෙසේ නඩු විභාගවලින් ඉවත්විය.
මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් නඩු විභාගයෙන් ඉවත්වීමේ තීන්දුව ගත් බව සඳහන් කළේය.
නඩුව විභාග කර සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට හැකි බවට තමන් විශ්වාස කළත් ,මෙම පළ කිරීම් වලින් පසුව සමාජයේ යම් මතයක් උද්ගතව ඇති බැවින් මෙම තීරණය ගත් බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියේය.
ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.
පසුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන මැයි මස 21 දින කැඳවීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට දින නියම කළේය.