විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක්


(විනීතා එම් ගමගේ)

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උයද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක් කර ගන්න බැරි විපක්ෂයේ පුංචි පුතාලා දුවලාගේ පහසුව පිණිස කොවිඞ් 19 සංඛ්‍යා ලේඛණ විග‍්‍රහ කර  දීමට බලාපොරොත්තු වන බවත්  ඉන්දියාවෙන් ඇරඹුවහොත් මාර්තු 24 වැනිදා ඉන්දියාව වසා දමන විට රෝගීන් 499 ක් සිටි අතර දැන් 70,780 කට අධික පිරිසක් සිටින බවත් එය 142 % ක වර්ධන වේගයක් බවත් කීය.

ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය පහල මට්මටමක පවතින්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ජනතාව ආණඩුවට සවන්දීම කොතරම් දුරට සිදුවෙනවා ද යන්න යැයි කී ගම්මන්පිල මහතා එම අගය ශ්‍රී ලංකාවේ හතලිහක් වෙද්දී කටාර්වල 8199 ක් වී ඇතැයි ද එයින් ම ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති තත්ත්වය පෙන්නුම් කරන්නේ යැයි ද පැවැසීය.

ආසියාවේ ආදර්ශය වන සිංගප්පූරුව අප්‍රේල් 3දා ලොක් ඩවුන් කරන විට රෝගින් ගණන 1144 සිටි අතර  දැන් රෝගින් ගණන 23,822 ක් වන බවත් එය 21ක් ගුණයකින් රෝගීන් ප‍්‍රමාණය වර්ධනය වීමක් බවත් පෙන්වා දුන්නේය.

හොඳට ඉඩකඩ තියෙන සමාජ පරතරය හොදින්ම රකින්න පුළුවන් ලෝකයේ ලොකුම රටවන රුසියාව ලොක් ඩවුන් කළ මාර්තු මාසයේ 30දා රෝගින් සිිටියේ 1,462ය ක් වන බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා දැන් 221,344 වී ඇති බවත් එයින් කියැවෙන්නේ 151ක් ගුණයකින් රෝගින් වැඩි වීම බවත් හෙතෙම කියා සිටියේය.
 
මේ අනුව නිදසුනට ගත් එම රටවල් දෙස බලද්දී රෝගීන් 151 ගුණයකින් පවා වැඩි වී ඇති බව පෙනී යන බව ද ඔහු සදහන් කළේය.

රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පවා මනින්නේ මරණ අනුපාතයෙන් සහ සුව වූ අනුපාතයෙන් බව ද ලෝකයේ මරණ අනුපාතය සියයට හතක් වෙද්දී ලංකාවේ එම ප‍්‍රමාණය සියයට 1 වන බව ද ලොව අඩුම රටවල් කිහිපය අතරේ ශ්‍රී ලංකාව සි්ටින බව ද ඔහු කීවේය.
 

සුව වූ අනුපාතය බලද්දී ද ලෝකයේ සාමාන්‍යය අගය සියයට 36 ක් වෙද්දී එය ශ‍්‍රී ලංකාවේ සියයට 39 වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ නිසා ජාත්‍යන්තර දර්ශක සකසන අය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාව කොවිඞ් 19 මර්දනය සඳහා ගත් ක‍්‍රියාමාර්ග අගය කරමින් ලංකාව ලෝකයට ආර්දශයක් යැයි පෙන්වා දෙන බව ද  එය දරාගන්නට බැරි විපක්ෂය, මෙහි කොටස්කරුවෙක් නොවුණු විපක්ෂය, මේ ක‍්‍රියාවලියේ දී කකුලෙන් අදිමින් බොරු කියමින් ආණ්ඩුව රටට ලබාදුන් ජයග‍්‍රහණය හෑල්ලූ කිරීමට සාර්ථක උත්සාහයක නියැළි සිටින්නේ යැයි ද ඔහු ස`දහන් කළේය.

තව දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා කොවිඞ් 19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ අවදානමකට ලක් වී ඇති ව්‍යාපාර සරණ පතා යන්නේ තමන්ගේ බැංකුව වෙත  යන නමුත්  පසුගිය මාස දෙකේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා විවිධ මූල්‍යමය සහන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නැයි රජය විසින් ඉල්ලීමට පවා සමහර බැංකු නම්‍යශීළී නොවී ඇතැයි ද කීය.

නමුත් බැංකු නම්‍යශීලී නොවී ශයිලොක් න්‍යායෙන් මස් රාත්තලම ඉල්ලන බවට ව්‍යාපාරිකයින් චෝදනා නගන්නේ යැයි ද, ණය ලබාදීම ප‍්‍රමාද කිරීම හරහා ව්‍යාපාර දහස් ගණනක් වසාදැමීමට ලක්ව රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අනතුරක් මතුවී ඇතැයි ද, සම්ප‍්‍රදායික ලෙස මේ අවස්ථාවේත් ඇප පිළිබඳ තදින් ක‍්‍රියා නොකර නම්‍යශීලි වෙන්නැයි බැංකු වලින් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය.

ඉකුත් වසරේ බදු ගෙවීමෙන් පසු ලැබූ ලාභය බැලූවිට කොමර්ෂල් බැංකුව මිලියන 18,057 ක්ද, ලංකා බැංකුව මිලියන 17,590 ක්ද, මහජන බැංකුව 13,012 ක්ද,  සම්පත් බැංකුව මිලියන 11,983 ක්ද,  හැටන් නැෂනල් බැංකුව 11,558ක්ද උපයා ඇතැයි පැවසු ගම්මන්පිල මහතා  මේ දැවැන්ත ලාභය උපයා දුන් ගනුදෙනුකරුවන් දැන් අමාරුවේ වැටී සිටින නිසා බැංකු විසින් යම් අවදානමක් අරගෙන ආර්්ථික අර්්බූදයෙන් ගොඩ ඒමට ව්‍යාපාරිකයින්ට සහන සැලසිය යුතු යැයි තමන් යෝජනා කරන බව ද කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උපුල් විජේසේකර සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ යන මහත්වරුන්ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.