94 වැනි ඔස්කාර් සම්මාන උළෙල, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණු අතර, සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත්, වේදිකාවට ගොඩවී, සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් විය.
විල් ස්මිත් සම්මාන උළෙල සඳහා පැමිණ සිටියේ බිරිඳ මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළියක ද වන ජේඩා පින්කෙට් සමගය. ජේඩා හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඇය හිස බූ ගා සිටියාය. වේදිකාවේ සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට එය විහිළුවක් විය. ඔහු තොරතෝංචියක් නැතිව, ජේඩා විහිළුවට ගත් අතර එය විල් ස්මිත්ගේ කෝපයට බදුන් විය.
තවත් බලා සිටිය නොහැකි වුණු විල් ස්මිත්, වේදිකාවට ගොඩ වී, ක්‍රිස් රොක් අසලට ගොස් ක්‍රිස් රොක් ට අතුල් පහර එල්ල කරයි. එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරුණි.
ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දීය. තමන් ‘ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් ප්‍රසිද්ධියට පත් තර තිබේ.
එම සිදුවීමෙන් පසු විල් සිමිත් හැගීම්බරව කඳුළු සලන්න වූ බවත්, ප්‍රවීණ මෙන්ම සම්මානීය නළු ඩෙන්සල් වොෂින්ටන් සහ ටයිලර් පෙරී වේදිකාවේ මුල්ලකට වී, විල් සිමිත් සැනසූ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
විල් සිමිත් හොඳම නළුවාට හිමි සම්මානය දිනුවේ ‘කිංග් රිචඩ්’ චිත්‍රපටය වෙනුවෙනි. ‘කිංග් රිචඩ්’ චිත්‍රපටයට පාදක වන්නේ ජනප්‍රිය ටෙනිස් ශූරියන් වන වීනස් සහ සෙලීනාගේ පවුලේ කතාවය. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ වීනස් සහ සෙලීනාගේ පියා රිචඩ් විලියම්ස් වටාය.
මෙවර සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ජෙසිකා චැස්ටින්ය. ඒ, ‘අයිස් ඔෆ් ටැමී ෆේ’ චිත්‍රපටය වෙනුවෙනි.
සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ‘කෝඩා’ ය. ‘කෝඩා’ චිත්‍රපටයට බිහිරි පවුලක් වටා ගෙතෙයි. හොඳම සහාය නළුවා ලෙස ‘කෝඩා’ චිත්‍රපටයේ ටෝරි කොස්ටර්, සම්මානයට පාත්‍ර විය. ටෝරි කොස්ටර්, සැබැවින්ම ශ්‍රවණාබාධිත නළුවෙකි.
සම්මාන රැසක් සඳහා නිර්දේශ වී තිබූ චිත්‍රපයක් ලෙස ‘පවර් ඔෆ් ද ඩෝග්’ සමලිංගික කතාවක් ඇතුළත් ගොපලු චිත්‍රපටය හැඳින්විය හැකිය. මෙවර හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ජේන් චැම්පියොන්ය.
හොඳම සහාය නිළිය ලෙස සම්මානය දිනුවේ ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ සංගීතමය චිත්‍රපටයක වන ‘වෙස්ට් සයිඩ් ස්ටෝරි’ චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු අරියානා දේ බෝස් ය.
ඩිස්නි ‘එන්කැන්ටෝ’ චිත්‍රපටය හොඳම සජීවීකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.
හොඳම විදෙස් චිත්‍රපටය වූයේ ‘ඩ්‍රයිව් මයි කාර්’ නමැති ජපන් චිත්‍රපටයයි.
මෙවර සම්මාන උළෙල මෙහෙයවීම කළේ රෙජීනා හෝල්, ඒමි ෂූමර් සහ වොන්ඩා සයික්ස් නිළියන් තිදෙනාය. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ, නිළියන් තිදෙනකු සම්මාන උළෙල මෙහෙයවීම කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(රොයිටර්)