විල්පත්තුවේ සිමෙන්ති පොකුණු ජලයෙන් පුරවයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු රැසක් සිඳී යාම හේතුවෙන් ඉදිකර ඇති සිමෙන්ති පොකුණු වෙත බවුසර් වලින් ජලය දැමීම මේ වන විට සිදු කරන බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා අද (26) දින පැවසීය.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසා සිටියේ මේ වන විට උද්‍යානයේ ඇති විල්ලු 42 ක් අතරින් 30 කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් සිඳී යාම හේතුවෙන් වන සතුන්ට ආහාර  සහ ජලය සොයා සැතපුම් ගණනක් ගමන් කිරීමට සිදුව ඇති බවයි.

මේ හේතුව නිසා ලීටර් දස දහසකට වඩා ජල ධාරිතාවක් දැමීමට හැකි වන අයුරින් උද්‍යානයේ සකසා ඇති කොන්ක්‍රිට් පොකුණු වෙත වනජීවී නිලධාරීන් විසින් දින කිපයකට වරක් බවුසර් යොදා ගනිමින් ජලය දැමීම සිදුකරනු ලබයි.

එම පොකුණු වෙත ජලය බීමට කුඩා කුරුල්ලන්ගේ සිට වලහා, මුවා, ගෝනා, දිවියා සහ අලියා ඇතුළු අනිකුත් වන සතුන් දිය පානය කිරීමට පුරුදුව ඇති බවද වන ජීවී නිලධාරීහු පවසති.

උද්‍යානයේ ඇති මෙම කොන්ක්‍රිට් පොකුණු වෙත කළාඔයේ සිට කිලෝ මීටර් 30 ක පමණ දුරක් බවුසර් මගින් රැගෙන එනු ලබයි.