වෙන දා සුදුවතින් බැබළුණු වෙහෙර විහාර අද පාළුවට යයි


(ඩයනා උදයංගනී)

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී ඇත. මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය.

පොහොය ලැබීම ඊයේ (25) පස්වරු 8.29 ට සිදුවූ අතර පොහොය ගෙවෙන්නේ අද (26) පස්වරු 4.43 ටය.

වෙහෙර විහාර පාළු ස්භාවයක් ගත්තේය. මහා සංඝරත්න උදෑසන පොහෝදා වතාවත් සිදු කළහ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර නිවෙස්වල සිටම සීල, භාවනා ආදී පිංකම්වල නිරත වන ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් මෙන්ම රජය ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

වෙසක් පොහෝ දිනයේ දී රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන බැවින් ජනතාවට විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව මෙවර අහිමි වී තිබේ. එමෙන්ම සාමාන්‍යයෙන් වෙසක් දිනයේදී දක්නට ලැබෙන දර්ශනීය තොරණ්, වෙසක් කලාප, වෙසක් පහන් කූඩු, දන්සැල්, ආදිය මෙවර ද සංවිධානය නොවේ.

පසුගිය 2020 වසරෙදී ද කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ නිසා ජනතාවට නිවසේ සිටම වෙසක් සැමරීමට සිදුවූ අතර ඊට පෙර 2019 වසරේදී ද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිසා ජනතාවට වෙසක් සමරන්නට සිදුවූයේ සීමා යටතේය.

වෙනෙදා වෙසක් පොහෝදිනවල අතුරු සිදුරු නැතිව පිරී ඉතිරි යන වෙහෙර විහාර අද පාළුවට ගොස් ඇති අයු අප කළ සංචරණයේදි දැක ගත හැකිවිය. කැළණිය, අනුරාධපුරය, පොලොන්නරුව,මහනුවර දළදා මාලිගාව ඇතුළු සියලු සිද්ධාස්ථාන දැඩි පාළුවට ගොස් තිබුණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)